ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනය හසුරුවන ආකාරය දන්නවා
ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් දක්ෂතා දක්වන බවත්, පීඩනය හැසිරවීම පිළිබඳව හොඳ අත්දැකීමක් පවතින බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මාවන් අතපත්තු පවසා තිබේ. ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු ඉහත අදහස් දැක්වූ බව එම පුවත් සේවය පෙරේදා (15දා) වාර්තා කළේය.
"මම මේ ක්‍රීඩකයන් එක්ක ඉන්නේ අවුරුදු හතරක ඉඳලා. අපි දිනාගත යුතු විශාල තරගාවලිවල තරග දිනලා තිබෙනවා. මම ක්‍රීඩකයන්ගේ මෙන්ම කණ්ඩායම්හි නැගීම දැකලා තිබෙනවා. මේ වෙලාවේ මම වෙනසක් දකින්නේ නෑ, මොකද මේ අය එය නැවතත් හොඳින් කරනවා. අපි එකාමෙන්ම එක අරමුණක් වෙනුවෙන් ක්‍රීඩාකරද්දී හොඳම අය අතරට අපිට එන්න පුළුවන්. ලෝක කුසලාන තරගාවලි රාශියකට ක්‍රීඩා කරලා පීඩනයත් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියන එක ක්‍රීඩකයෝ දන්නවා." යැයි ඔහු පවසයි.
මෙවර තරගාවලියේ දක්ෂතා දක්වන පිතිකරුවන් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ඉදිරියෙන්ම පසුවන අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාම ශතක වාර්තා කර තිබේ. එය කණ්ඩායමට වාසියක් බව මාවන් පෙන්වා දෙයි.
"අපිට ඉන්න හත් දෙනෙකුගෙන් සිවු දෙනෙක් දක්ෂතා දක්වනවා නම් එය ඔබට කතාවක් කියනවා. හත්දෙනාම දක්ෂතා දක්වයි කියලා බලාපොරොත්තුවෙන්න බෑ. විවිධ තරගාවලිවල ක්‍රීඩකයන් රිද්මයට ආවම කණ්ඩායම ලොකු ලකුණු ප්‍රමාණයකට රැගෙන යාම ඔවුන්ගේ වගකීමයි."
එසේම ලසිත් මාලිංග ක්‍රමයෙන් දක්ෂතා අතරට පැමිණෙන බවත්, ඔහු තරගයක් වෙනස්කළ හැකි පිතිකරුවෙන් බවත් මාවන් පෙන්වා දෙයි.
"ලසිත්ට විශ්වාසයක් තිබෙනවා. එය අපිට ගොඩක් වැදගත්. පසුගිය වසර දෙක තුනේදී ඔහුගෙන් දැක්ක වේගය ඔබ දකින්නේ නෑ තමයි. නමුත් ඒක හැම කෙනෙක්ම පවා මුහුණ දෙන දෙයක්. ලසිත් සිය දක්ෂතා නංවන්න උත්සාහ කරනවා. ඔහු තරග දිනවන්නෙක්. "
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ස්ථානගත කිරීමේ වෙනසක් දැකිය හැකි අතර, කුසල් පෙරේරා පසුපෙළ ක්‍රීඩා කරමින් සිටියි. මේ පිළිබඳවද මාවන් සිය අදහස් දක්වා තිබේ.
"මම හැමවෙලේම විශ්වාස කරනවා ඔබට හොඳ දක්ෂතාවක් තිබෙනවා නම් අංක එකේ සිට හත දක්වා ඕනෑම තැනක ප්‍රශ්නයකින් තොරව පිතිකරණයේ යෙදිය යුතුයි. අනෙක් අයට අවස්ථාවලදී කණ්ඩායමට අවශ්‍යම දේ කළ යුතුයි. ඒක තමයි කුසල් පසුපෙළ ක්‍රීඩා කරන්නේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

