ශ්‍රී ලංකා කණ්ඩායමේ උපරිම හැකියාව පිලිපීනයට එරෙහිව ප්‍රදර්ශනය වුණේ නෑ
මැලේසියාවේ ඉපෝහිදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු තරගයේදී පිලිපීනයට එරෙහිව කණ්ඩායමේ උපරිම හැකියාව ප්‍රදර්ශනය නොවූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක රොෂාන් වීරරත්න පැවසීය.
ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පිලිපීනය අතර පෙරේදා (14දා) පැවැති අතර, එම තරගයෙන් ලකුණු 24-13ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය.
ශ්‍රී ලංකා ජයග්‍රහණය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ රොෂාන් වීරරත්න,
''ඇත්තටම ගොඩක් සතුටුයි. අපිට මීට වඩා කරන්න තිබුණා. මේ අපේ උපරිමය නොවෙයි. නමුත් සියලුම දෙනා හොඳට ක්‍රීඩා කළා. මේක අපේ කණ්ඩායමේ පළමු තරගය. කාලගුණයත් එක්ක ටිකක් අමාරු වුණා. ජය ලැබීම සතුටක්. වැරදි ටික හදාගෙන ඊළඟ තරගයට එනවා.''
පිලිපීන කණ්ඩායම තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නායකයා මෙසේ පැවසීය.
''මම හිතන්නෙ පිලිපීන කණ්ඩායමට අවසන් මොහොතේ ලකුණු 10ක් ලබා ගන්න අවස්ථාව ලැබුණේ අපේ වරදින්. එක්කෙනෙක්ට කියලා දොස් කියන්න බෑ. අපේ වෙනස්කම් වුණා. ක්‍රීඩාංගණයේ තෙත බරිත වීම නිසා ලිස්සන ගතියක් තිබුණා. අපේ වැරැද්දෙන් තමයි ඒ අවස්ථාව ලැබුණේ.''
තරගයේ තීරණාත්මක සාධකය පිළිබඳව වීරරත්න මෙසේ අදහස් දැක්වීය.
''මම තීරණාත්මක සාධකය හැටියට දකින්නේ තිළිණ විජේසිංහ දඬුවම් පහරවලින් ලබාගත් ලකුණු සංඛ්‍යාවයි. ඒ නිසා තමයි අපි ආරම්භයේ සිටම ඉදිරියට ගියේ. සමහර විට මමත් ධර්මපාලත් එකතු වෙලා ලබාගත් උත්සාහක දිනුමෙන් වෙනසක් වුණා කියල කියන්න පුළුවන්. කෙසේ නමුත් සියලුම දෙනා හොඳට ක්‍රීඩා කළා.
තිළිණ ඔහුගේ පළමු තරගාවලියේදී ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ගොඩක් සතුටුයි. ඔහු ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව මම පෞද්ගලිකව ගොඩක් සතුටු වෙනවා. ඔහු මා සමග තමයි හිටියේ. මාත් එක්ක ගොඩක් කථා කළා. ඔහු රට ගැන හිතලා ක්‍රීඩා කරයි කියලා තමයි මම හිතන්නේ.''
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ෆාසිල් මරීජා ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා මෙසේ බලාපොරොත්තු සහගතව අදහස් පළ කළේය.
''ඔහු ඉස්සර වගේම තාම ක්‍රීඩා කරනවා. වසර 10කට පෙර දැක්කා වගේමයි ඔහු ක්‍රීඩා කළ විලාසය. මම හිතනවා ඔහු ඉදිරි තරගවලදීත් මේ විදියටම ක්‍රීඩා කරයි කියලා.''
තරගාවලියේ පළමු දිනය වූ පෙරේදා (14දා) පැවැති දෙවැනි තරගයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම පරාජය කර ලකුණු 36-22ක් ලෙස ජය ලැබීමට සත්කාරක මැලේසියානු කණ්ඩායම සමත්විය.
මැලේසියාව එම තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණක්ද ලබාගැනීමට සමත්වූ අතර, ඒ අනුව ප්‍රසාද ලකුණු 05ක් ලබා කණ්ඩායම් වර්ගීකරණයේ පළමු ස්ථානයට පැමිණියේය. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසු වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය හෙට (17දා) එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වේ. ශ්‍රී ලංකා පිල අද (16දා) පස්වරුවේ අවසන් පුහුණු සැසියට සහභාගි වීමට සූදානමින් සිටියි.
ඉපෝ ප්‍රදේශයට මේ දිනවල පස්වරුවේ වර්ෂාව ඇඳ හැළෙන අතර, එය ඇතැම් විට පුහුණු සැසියට බාධාවක් විය හැකිය. ඉපෝ නගර සභා ක්‍රීඩාංගණයේ පුහුණුවීම සඳහා වන කුඩා ක්‍රීඩාංගණය වර්ෂාව හේතුවෙන් දැඩි තෙත බරිත තත්ත්වයකට පත්ව තිබේ.
යොහාන් භාසුර
මැලේසියාවේ ඉපෝ නුවර සිට

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

