ශ්‍රී ලංකා - ඉන්දියා පළමු විස්සයි20 තරගය අද
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය කටාක් 'බරභාති' ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (20දා) පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා පිල මාස නවයකට අධික කාලයකින් විස්සයි20 තරගයක් ජය ලබා නොමැති වීම හේතුවෙන් මෙම තරගය වඩාත් වැදගත් වී තිබේ. ශ්‍රී ලංකාව සිය අවසන් විස්සයි20 ජය අප්‍රේල් මස 4 වැනිදා කොළඹදී බංග්ලාදේශයට එරෙහිව ලබා තිබේ.
ශ්‍රී ලංකාව මෙම වසරේ මේ දක්වා විස්සයි20 තරග 12කට සහභාගි වී තරග 5ක් පමණක් ජය ලබා ඇති අතර, තරග 7ක් පරාජයට පත්ව තිබේ. අප්‍රේල් මස 6 වැනිදා සිට සහභාගි වූ තරග පහේදී බංග්ලාදේශය සහ ඉන්දියාව හමුවවේ තරගය බැගින්ද, අවසන් තරගාවලියේ පාකිස්තානය හමුවේ තරග තුනමද, පරාජයට පත් විය.
ශ්‍රී ලංකාව මෙම වසරේ ජනවාරි මස දකුණු අප්‍රිකාව 2-1 ලෙස දකුණු අප්‍රිකාවේදීද, පෙබරවාරි මස ඔස්ට්‍රේලියාව 2-1 ලෙස ඔස්ට්රේලියාවේදීද, පරාජය කරමින් විස්සයි20 තරගාවලි ජයග්‍රහණ දෙකක් ලැබීය.
ආබාධයකට ලක්ව සිටි ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා මාස නවයකට අධික කාලයකට පසුව අද (20දා) නැවතත් පළමු අන්තර්ජාතික ක්‍රිකට් තරගයකට සහභාගි වීමට සූදානමින් සිටියි.
එංගලන්තයේදී පසුගිය ජනවාරි මස පැවැති ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව කුසල් පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක් වූ අතර, පසුව නැවතත් අප්‍රේල් මස බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලියට පැමිණියද ඉන් පසුව නැවත ආබාධයකට ලක්වීමෙන් සිම්බාබ්වේ, ඉන්දියා සහ පාකිස්තානු යන සංචාර තුනම අහිමි විය.
පසුගිය පාකිස්තානු විස්සයි20 තරගාවලියට සහභාගි කරවීමට පැවැත් වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීමෙන් ඔහුට එම තරගාවලියද මග හැරුණි. කුසල් ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ සිට සංචිතයේ පුහුණුවීම්වල නිතර වූ අතර එක්දින තරගාවලියේදී අවස්ථාව නොලැබුණි.
වමත් පිතිකරුවෙකු වන 27 හැවිරිදි කුසල් පෙරේරා විස්සයි20 අන්තර්ජාතික තරග 27කදී අර්ධ ශතක 6ක් සමගින් ලකුණු 716ක් රැස්කර තිබේ. එක්දින තරගාවලියේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල මෙම තරගයේදීද කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටියේය. ශ්‍රී ලංකා පිළ ඊයේ (19දා) කටාක් ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියකට සහභාගි විය.
ශ්‍රී ලංකා පිල ලාහෝර්හිදී අවසන් වරට සහභාගි වූ තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඩිල්ෂාන් මුණවීර මෙම සංචිතයට ඇතුළත්ව නොමැති අතර, ඒ හේතුවෙන් මෙම තරගයේදී ධනුෂ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා ආරම්භක පිතිකරුවෝ ලෙස කටයුතු කරති.
පාකිස්තානු තරගාවලියට සහභාගි නොවූ ඉදිරි පෙළ පිතිකරුවන් වන උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල පන්දුවට පහරදෙන ස්ථාන තරගයේ ඉනිමේ ස්වභාවය අනුව තීරණය වනු ඇත. මෙහිදී වමතින් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චතුරංග ද සිල්වා දෙවැනි දඟ පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. අකිල ධනංජය සංචිතයේ සිටින එකම පිට දඟ පන්දු යවන්නා වේ.
වමතින් දඟ පන්දු යවන සචිත් පතිරණ එක්දින තරග තුනටම සහභාගි වුවද කැපී පෙනෙන දස්කම් දැක්වීමට අපොහොසත් විය.
නායක තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් මද වේග පන්දු යවන්නන් ලෙස කටයුතු කිරීම නිසා දසුන් ශානකට අවස්ථාව ලැබීමට ඇති ඉඩ අඩු වන අතර, නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර නිත්‍ය වේග පන්දු යවන්නෝ ලෙස ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිති. තරගයට සහභාගි වන අවසන් 11 දෙනා අද (20දා) පස්වරුවේ තීරණය කිරීමට නියමිතව තිබුණි.
මෙම තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතයෙන් එක්දින තරගාවලියේ වීරයා බවට පත් වූ ශීකර් ධවාන් සහ වේග පන්දු යවන බුවනේෂ්වර් කුමාර් විවේක ගන්වා තිබේ. නායක රෝහිත් ශර්මා, මහේන්ද්‍ර සිං දෝනි, දිනේෂ් කාර්තික් සහ මනිෂ් පාන්ඩේ ඉන්දීය කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ලෙස හැඳන්විය හැකිය. කෙසේ වෙතත් ඉන්දීය සංචිතයේ සිටින සියලුම ක්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලිය හරහා විස්සයි20 ක්‍රිකට් ප්‍රවීණයන් බවට පත්ව සිටීම වඩාත් කැපී පෙනෙන තත්ත්වකි.
ශීකර් ධවාන් සහ විරාට් කෝලි මෙම තරගාවලියට නොමැති වීම නිසා රෝහිත් ශර්මා සමග ශියාර් අයියර් ආරම්භ පිතිකරුවන් ලෙස කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 91ක් සමගින් විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ 8වැනි ස්ථානයේ පසුවන අතර, ඉන්දියාව ප්‍රසාද ලකුණු 119ක් ලබා ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ පසුවේ.
මෙම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්සයි20 අන්තර්ජාතික තරගය මෙය වන අතර, පළමු විස්සයි20 තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර 2015 වසරේ පවත්වා තිබේ.
(යොහාන් භාසුර, ඉන්දියාවේ කටක්හි සිට)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



