ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (18දා) නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිතිකරණ අංශයෙන් ඉදිරියට ගමන් කිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර්, නවසීලන්තයේ කේන් විලියම්සන් හා රොස් ටේලර් සමත්ව තිබේ.
ඒ අනුව ස්ථාන 3 ක් ඉදිරියට ගමන් කර ඇති විලියම්සන් තෙවැනි ස්ථානය දිනාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 893 ක් හිමි කරගනිමිනි.
මෙහි තවමත් පෙරමුණ රැකගැනීමට ප්‍රසාද ලකුණු 899 ක් හිමිකරගෙන ඇති දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් සමත්වී ඇත. දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ විලියම්සන් සමග සම ප්‍රසාද ලකුණු (893) හිමිකරගත් ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ය.
නිමා වූ ඔස්ට්‍රේලියානු නවසීලන්ත දෙවැනි ටෙස්ට් තරගයේදී ඩේවිඩ් වෝනර් දැක්වූ දක්ෂතා අනුව ස්ථාන දෙකක් ඉදිරියට විත් 5 වැනි ස්ථානය දිනාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 880 ක් හිමිකරගනිමිනි. මෙතෙක් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 10 තුළ නොසිටි නවසීලන්තයේ රොස් ටේලර් එම තරගයේදීම ලකුණු 290 ක් ලබාගැනීම හේතුවෙන් ස්ථාන 07 ක් අබිබවා 10 වැනි ස්ථානයට පත්ව තිබේ. ඔහු ප්‍රසාද ලකුණු 797ක් රැස්කරගෙන තිබේ.
ශ්‍රේණිගත කිරීම්හි සිටි එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් ප්‍රසාද ලකුණු 851 ක් ලබමින් 07 වැනි ස්ථානයේ පසුවේ.
මේ අතර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථානවල කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ශ්‍රී ලංකාවේ රංගන හේරත් ප්‍රසාද ලකුණු 751 ක් ලබා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ 08 වැනි ස්ථානයට පත්ව තිබේ. ප්‍රසාද ලකුණු 893 ලබාගත් දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් මෙහි පෙරමුණේ පසුවෙයි.