ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවෙනවා නම් බොහෝදුරට එය පිතිකරුවෙකු විය හැකි බවත්, කෙසේ නමුත් අවසන් කණ්ඩායම නම් කරන්නේ අද දිනයේදී බවත් දිනේෂ් චන්දිමාල් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගය පිළිබඳව ඊයේ (03දා) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී චන්දිමාල් මෙම අදහස් දක්වා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, පළමු තරගය ජයගෙන සිටින හෙයින් හොඳ මානසිකත්වයකින් කණ්ඩායම තරගයට මුහුණදෙන බවයි.
තවදුරටත් අදහස් දැක්වූ චන්දිමාල්, "කොදෙව් කණ්ඩායමෙන් අභියෝගයක් විය හැකි දඟපන්දු යවන්නා සුනිල් නාරීන් පමණයි. අද ලෝකයේ ඉදිරියෙන්ම සිටින දඟපන්දු යවන්නන් අතර ඔහු ඉතාමත් හොඳ පන්දු යවන්නෙක්. එවැනි පන්දු යවන්නන්ට මුහුණදෙන්න අපි මහන්සියෙන් පුහුණුවීම් කරනවා. ඒ වගේම අපි කිසිම වෙලාවක කොදෙව් කණ්ඩායම අඩු තක්සේරුවට ගන්නැහැ. කෙසේ නමුත් පළමු තරගය ජයගෙන සිටින නිසා දෙවැනි තරගයට ක්‍රීඩාකරන්න ගොඩක් හොඳ මානසිකත්වයකින් ඉන්නේ"
නිමා වූ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ඉශාන්ත් ශර්මා සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගැනීම හේතුවෙන් අයි.සී.සී. දඬුවම් අනුව දිනේෂ් චන්දිමාල්ට පසුගිය ඉරිදා (01දා) පැවැති පළමු එක්දින තරගය ක්‍රීඩා කිරීම තහනම් වූ අතර, ඒ හේතුවෙන් චන්දිමාල් අද පැවැත්වෙන දෙවැනි තරගයට ක්‍රීඩාකිරීමට වැඩි අවස්ථාවක් ඇත.
ඒ හේතුවෙන් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට ඉවත්වීමට සිදුවන අතර, එම ක්‍රීඩකයා කවුරුන් විය හැකි දැයි චන්දිමාල්ගෙන් මෙහිදී විමසා සිටියේය. "මම පිතිකරුවෙකු නිසා මම හිතන්නෙ පිතිකරුවෙකුට තමා ස්ථානය අහිමිවෙන්නේ. කෙසේ නමුත් තවම තීරණය කරලා නැහැ තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම. කණ්ඩායම් නායකයා හා තේරීම් කමිටුව තීරණය කරයි අවසන් කණ්ඩායම. නමුත් අවශ්‍ය ක්‍රීඩකයන් එකොළොස්දෙනා නම්කිරීමට කාලගුණයත් වැදගත් වේවි" යැයි අවසන් වශයෙන් පවසා සිටියේය.