වූෂු නංවන්න චීන දූත පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවේ වූෂු ක්‍රීඩාවට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ සහාය සහ වූෂු ක්‍රීඩා උපකරණ ඇතුළු උපකාර ලබාදීමේ අරමුණින් චීනයේ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සහ චීන ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපති ෂියාවෝ තියෑන් මහතා ප්රමුඛ උසස් දූත පිරිසක් එළඹෙන මැයි මස 03 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතාගේ ආරාධනයෙන් දිවයිනට පැමිණෙන මෙම පිරිසට චීන අන්තර්ජාතික වූෂු සම්මේලනයේ තාක්ෂණික කමිටු සභාපති සහ චීන වූෂු සම්මේලනයේ උපසභාපති වං යුලොං, අන්තර්ජාතික වූෂු සම්මේලනයේ ප්‍රවර්ධන හා පුහුණු කටයුතු අධ්යක්ෂ චාං වංනාත්, චීන වූෂු සම්මේලනයේ විදේශ කටයුතු අධ්‍යක්ෂිකා චං ෆං සහ ෂියාවෝ තියෑං මහතාගේ පෞද්ගලික සහකාර දිං යී යන මහත් මහත්මීහු ඇතුළත් වෙති.
මැයි මස 06 වැනිදා තෙක් දිවයිනේ ගතකරන මෙම දූත පිරිස ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාද හමු වී දෙරට අතර වූෂු ක්‍රීඩාවේ සහ වෙනත් ක්‍රීඩාවල ප්රගමනය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අදහස් කරති.
"මීට පෙර මගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි චීන නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය යු සායිචිං මහතා අද අපි භාවිත කරන තාඔලු පලසත්, සන්දා තරග වේදිකාවත් ඇතුළු රුපියල් මිලියන 05කට අධික ක්‍රීඩා භාණ්ඩ නොමිලයේ අප වෙත ලබාදුන්නා. මෙම සංචාරයේදී මා බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවට අවම වශයෙන් වර්ෂ දෙකක කාලයකට තාඔලු සහ සන්දා පුහුණුකරුවන් දෙදෙනෙකු චීනයෙන් නොමිලයේ ගෙන්වාගෙන රටේ සියලුම වූෂු සංගම්වල පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයන්ට නොමිලයේ වූෂු තාක්ෂණික දැනුම ලබාදීමයි" යැයි මානෙල් මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

