ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය කඩුලු 05 ක් පරාජය කර 2015/16 ඒ.අයි.ඒ. ප්‍රිමියර් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට යුද හමුදා ක්‍රීඩා සමාජය අද (24දා) සමත්විය.
ටැමිල් යූනියන් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 165 ක ජයග්‍රාහී ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ යුද හමුදා කණ්ඩායම, තරගය නිමාවීමට පන්දුවාර 03 ක් ඉතිරිව තිබියදී කඩුලු 05 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවා වූ අසේල ගුණරත්න විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් නොදැවී ලකුණු 65 ක් රැස්කළ අතර, ඒ සඳහා ඔහුට වැයවූයේ පන්දු 43 ක් පමණි. අසේලගේ ඉනිමට හතරේ පහර 07 ක් හා හයේ පහර 02 ක් අන්තර්ගත විය.
ඔහුට අමතරව සීක්කුගේ ප්‍රසන්න පන්දු 10 කදී හයේ පහර 04 ක් සමගින් ලකුණු 28 ක් රැස්කිරීමට සමත්වූ අතර, ඔහු මෙම තරගයේ පළමු පන්දුවාරය යොමුකළ තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දුවාරයේදී හයේ පහර 03 ක් සමගින් ලකුණු 19 ලබාගැනීමට සමත්විය. ඒ වනවිට යුද හමුදා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා පන්දු 30කදී ලකුණු 27 අවශ්‍යව තිබුණි. ටැමිල් යූනියන් වෙනුවෙන් ශාමින්ද එරංග ලකුණු 19කට කඩුලු 02 ක් දවාළීය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ යුද හමුදා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යූනියන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 164 ක් රැස්කිරීමට සමත්විය.
ඉනිමේ ඉහළම ඉනිම ගොඩනැගූ තිලකරත්න ඩිල්ෂාන්, ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 85 ක් රැස්කිරීමට සමත්විය. යුද හමුදාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම සනිටුහන් කළ ජනක සම්පත් කඩුලු 04 ක් දවාළීය.
අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් එන්.සී.සී. (178/9) ක්‍රීඩා සමාජය කඩුලු 03 කින් පරාජය කිරීමට ටැමිල් යූනියන් (182/7) ක්‍රීඩා සමාජය සමත්වූ අතර, දෙවැනි තරගයෙන් එස්.එස්.සී. (140/10) ක්‍රීඩා සමාජය කඩුලු 05 කින් පරාජය කිරීමට යුද හමුදා (145/5) ක්‍රීඩා සමාජය සමත්විය.
ටැමිල් යූනියන් 164/9 (පන්දුවාර 20)
තිලකරත්න ඩිල්ෂාන් 85 (57, 4x13, 6x1), මනෝජ් සරත්චන්ද්‍ර 20 (17, 4x2), ධනංජය ද සිල්වා 12 (12, 6x1), පුලින තරංග නොදැවී 20 (17, 4x2), කිතුරුවන් විතානගේ 11 (8, 4x2), ජනක සම්පත් 4/24 (4), අජන්ත මෙන්ඩිස් 2/39 (4), සංජික රිද්ම 2/31 (4)
යුද හමුදාව 170/5 (පන්දුවාර 17)
අසේල ගුණරත්න නොදැවී 65 (43, 4x7, 6x2), සීක්කුගේ ප්‍රසන්න 28 (10, 6x4), ශාලික කරුණානායක 27 (19, 4x1, 6x2), පැතුම් ඩිල්ෂාන් 21 (19, 4x2, 6x2), ජනිත් සිල්වා නොදැවී 11 (5, 4x1, 6x1), ශාමින්ද එරංග 2/19 (3), ජීවන් මෙන්ඩිස් 1/40 (2), රමිත් රඹුක්වැල්ල 1/10 (2), තිලකරත්න ඩිල්ෂාන් 1/20 (1)
අසේල ගුණරත්න
තිලකරත්න ඩිල්ෂාන්
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි