ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරු මෙන්ම, හිටපු තුන් ඉරියව් ක්‍රීඩක චමින්ද වාස්, ඉදිරියේදී ආරම්භ වන පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී වේගපන්දු පුහුණු උපදේශකයෙකු ලෙස බඳවා ගැනීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
කෙසේ නමුත් අයර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට පෙර කෙටි තරග සංචාරයක් සඳහා එළඹෙන පෙබරවාරි මාසයේ මැද පෙරදිග තරග සංචාරයකට එක්වන අතර, එහිදී එක්සත් අරාබි එමීර් (යූ.ඒ.ඊ.) කණ්ඩායම සමගින් විස්සයි20 තරග දෙකකට සහභාගිවීමට නියමිතව ඇත. එම තරගාවලිය වාස්ගේ පළමු වගකීම වනු ඇත.
නවසීලන්ත කණ්ඩායම 2012 වසරේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ සිදුකළ තරග සංචාරයේදී වාස් පුහුණු උපදේශවරයෙකු ලෙස බඳවාගත් අතර, එහිදී නවසීලන්ත කණ්ඩායම එම තරගාවලිය තරග 1 –1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට හැකිවිය. එම දක්ෂතා හේතුකොට ගනිමින් 2013 වසරේදී වාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු පුහුණුකරුවෙකු ලෙස බඳවා ගත් අතර, එතැන් සිට පසුගිය වසරේ අප්‍රේල් මස වනතෙක් වාස් එහි කටයුතු කළේය. කෙසේ නමුත් දෙවසරක සේවා කාලය අප්‍රේල් මස අවසන්වීමෙන් පසු නැවත එම සේවා කාලය දිගුකරගැනීමට ඔහු කටයුතු නොකළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් (355), එක්දින (400) හා විස්සයි20 (6) තරග කාණ්ඩ තුන යටතේම ක්‍රීඩාකර ඇති වාස්, එම කාණ්ඩ ත්‍රිත්වයේ කඩුලු 761 ක් බිඳහෙළා ඇත. එක්දින හා ටෙස්ට් කාණ්ඩවල ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් දෙවැනි පන්දු යවන්නා වන්නේද චමින්ද වාස්ය.