දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්
වැටුප ලබාදෙන්නවත් ටෙනිස් සංගමයට මුදල් නැතිලු
ලංකාවේ සිටින ටෙනිස් පුහුණුකරුවන්ගෙනුත් කැපිල්ලක්
වසර 02ක සේවා කාලයක් සඳහා මෙරටට පැමිණි නෙදර්ලන්ත ජාතික ටෙනිස් පුහුණුකරුවා මාස 06ක් ඉක්ම යද්දී තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය අත්තනෝමතිකව කටයුතු කර ඇතැයි ටෙනිස් ක්‍රීඩකයන්ගේ දෙමාපියෝ චෝදනා කරති.
ඔවුන් පෙන්වාදෙන්නේ මෙම පුහුණුකරුවා මැලේසියාවේ කනිෂ්ඨ ඩේවිස් කුසලාන ක්‍රීඩකයන් පුහුණුකරමින් සිටියදී මෙරටට කැඳවා, මාස 06කින් ඔහු අදාළ තනතුරෙන් ඉවත් කිරීම අසාධාරණ කටයුත්තක් බවයි. එමෙන්ම ඔහු යටතේ මෙරට ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දක්ෂතා ප්‍රකට කර ඇති පසුබිමක ටෙනිස් සංගමයේ මෙම අත්තනෝමතික ක්‍රියාදාමය පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාද දැනුවත් කිරීමට පියවර ගත් බව ඔවුහු පවසා සිටියහ.
එමෙන්ම ජාතික පුහුණුකරු භූමිකාව සඳහා අද වනවිට විදෙස් පුහුණුකරුවා වෙනුවට පෞද්ගලික සමාගමක සේවය කරන තාවකාලික පුහුණුකරුවෙකු පත්කර ඇතැයිද අනාවරණය වේ.
මෙරට ටෙනිස් ක්‍රීඩාවේ පෙරගමන්කරුවා වන ජාතික ටෙනිස් සංගමයේ මෙම අත්තනෝමතික කටයුත්තට එරෙහිව ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බහුතර දෙමාපියන් පිරිසක් මේ වනවිට විදෙස් පුහුණුකරුවා ඉල්ලා විරෝධය පළකර ඇති පසුබිමක ටෙනිස් සංගමය පුහුණුකරුවාට ගෙවීමට මුදල් නොමැති බව පවසමින් මෙම ගැටලුව තවත් උග්‍ර කර තිබේ.
මෙම විදෙස් පුහුණුකරුවාට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 06ක වැටුප මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 02ක් සහ ඉතිරි මුදල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ගේ දායකත්වයෙන් ගෙවීම සිදුකරනු ලබයි.
කෙසේ වෙතත් ටෙනිස් ක්‍රීඩාව දියුණු කළ යුතු ටෙනිස් සංගමය එම කාර්යයෙන් මිදී හිතවත් ටෙනිස් පුහුණුකරුවන්ගේ ඕනෑ එපාකම් පිරිමසාලන තත්ත්වයට පත්වීම ශෝචනීය කරුණකි.
මෙම විදෙස් පුහුණුකරුවා යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දස්කම් දැක්වීම දේශීය ටෙනිස් පුහුණුකරුවන්ට නොරිස්සුම් සහගත සිදුවීමක්ව ඇති අතර, එමනිසාම මෙම විදෙස් පුහුණුකරුවාට නොයෙක් අයුරේ බලපෑම්, තාඩන පීඩන හා කැපිලි කෙටිලිවලටද ලක්වීමට සිදුව තිබේ. එනිසාම කළුතර දේශීය ටෙනිස් පුහුණුකරුවන් ඔහු කොන්කර ඇතැයිද අනාවරණය වේ. මෙම සිදුවීම නිසා එක් අතකින් ක්‍රීඩාවේ ජයග්‍රහණ ලබාගැනීමට යන මාවතකදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවීමටද ඉඩ ඇතැයි සමහරු මත පළකරති.
එමෙන්ම මෙම ටෙනිස් පුහුණුකරුවාට ටෙනිස් පිටි (Courts) ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ දක්ෂතා හීන වී ඇති බවට මතයක් ඇති කිරීමට ටෙනිස් සංගමයේ පිරිසක් කටයුතු කරමින් සිටින බවද ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියෝ පවසති.
මෙම ජාතික ටෙනිස් පුහුණුකරුවා ඉවත් කිරීමට පෙරාතුව අවම වශයෙන් ඔහුටඒ පිළිබඳ මසකට පෙර හෝ දැනුවත් කිරීමට ටෙනිස් සංගමය සදාචාර සම්පන්න නොවීම ටෙනිස් ක්‍රීඩාවේ අනාගතයට අභාග්‍යයකි. ටෙනිස් පුහුණුකරු ඉවත් කර ඇත්තේ සති 02ක කෙටි දැනුම්දීමකින් බවත්, ඔහුට ලැබිය යුතු වේතනය හෝනිසි පරිදි ගෙවීමට ටෙනිස් සංගමය අපොහොසත්ව ඇති බවත් දැනගන්නට ලැබේ.
මෙම පුහුණුකරු යටතේ මේ වනවිට වයස අවුරුදු 10න් පහළ, 12න් පහළ හා 16න් පහළක්රීඩක ක්‍රීඩිකාවන් 40කට ආසන්න ප්‍රමාණයක් පුහුණුවීම් සිදුකරන අතර, මේ වනවිට ඔවුන්ද දැඩි අපහසුතාවකට පත්ව තිබේ.
එමෙන්මමැලේසියාව අත්හැර ශ්‍රී ලංකාවට පැමිණි මෙම පුහුණුකරුවාට මෙම සිද්ධියත් සමග 'අල්ලපු අත්තත් නොමැති, පයගහපු අත්තත් නොමැති' තත්ත්වයකට පත්වීමට සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් සාධාරණයක් පතා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ක්‍රීඩා අමාත්‍යවරයාද මුණගැසී ඇති අතර, මේ වනවිටත් අදාළ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලැබී නොමැත.
පුහුණුකරුගේ වේතන ගෙවීමට දෙමාපියන්ට එක් පැත්තකින් සිදුව තිබෙනුයේද ටෙනිස් සංගමයට මුදල් නොමැති බව පැවසීම නිසාය. එහෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම්, පාඨමාලා හා පහසුකම් ගාස්තු වැඩි කිරීමටද ටෙනිස් සංගමය පියවර ගෙන ඇතැයිද අනාවරණය වේ.
මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිල්ලට දී පුහුණුකරුගේ වේතනගෙවීම පමා කිරීම ටෙනිස් සංගමය සිදුකළ බරපතළ වැරැද්දකි.එමෙන්ම ටෙනිස් පන්දු අස්ථානගතවූයේ යැයි පවසමින් මෙම පුහුණුකරුගේ වේතනයෙන් රුපියල් 30,000ක මුදලක් කපාහැරීමටද ටෙනිස් සංගමය කටයුතු කර ඇත්තේ ඔහුට එරෙහිව කිසිදු සාධාරණ පරීක්ෂණයක් පවා නොපවත්වමිනි. මේ අනුව පෙනී යන්නේ ටෙනිස් සංගමය වගකීම් විරහිත ආකාරයට කටයුතු කර ඇති බව නොවේද?
අප මේ පිළිබඳ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉෂාක් මහතාගෙන් කරුණු විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ එවැනි ගැටලුවක් නොමැති බවත්, පසුව අමතන ලෙසත්ය. එහෙත් මේ පිළිබඳ ටෙනිස් සංගමයේ ලේකම් ප්‍රදීප් ගුණසේකර මහතා පවසා සිටියේ ටෙනිස් සම්බන්ධ අර්බුදවලදී මාධ්‍යයට තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් ටෙනිස් මූලස්ථානයට පැමිණ තොරතුරු ලබාගත යුතු බවයි.
''අපි මාධ්‍යයට තොරතුරු ලබාදීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඔබට අපේ මූලස්ථානයට පැමිණිය හැකිනම් වඩාත් හොඳයි. ඒකයි අපේ ක්‍රමවේදය. ඔය කියන ටෙනිස් පුහුණුකරුවා සම්බන්ධ ගැටලුවේ දෙපැත්තක් තිබෙනවා. අපි දෙමාපියන්ටත් යෝජනා කිහිපයක් දීලා තිබෙනවා. ඒ යෝජනා එකකටවත් දෙමාපියන් කැමති වුණේ නැහැ. ඒකයි මෙතන තිබෙන ප්‍රශ්නේ. මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කරනවා. ජාතික පුහුණුකරු තනතුරට තවමත් අපි කවුරුවත් පත්කරලා නැහැ'' යැයිද ටෙනිස් සංගම් ලේකම්වරයා වැඩිදුරටත්පවසා සිටියේය.
කෙසේ වෙතත් ටෙනිස් සංගමය හා ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ගැටලුව සම්බන්ධයෙන් අලස ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටීම මෙරට ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතයට එල්ල කළ මරු පහරකි. එමෙන්ම ඔවුන්ගේ දක්ෂතා මොට කිරීමට දැක්වූ ඍජු දායකත්වයකි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුගේ බලතල ප්‍රකාරව මීට ඍජු හා නිවැරදි තීන්දුවක් ලබාදිය යුතු අතර, ටෙනිස් සංගමය සිය වැරදි ගමන්මග වෙනස් කරමින් නිවැරදි ගමන්මගේ යා යුතු බව පමණක් අවසන් වශයෙන් පැවසීමට කැමැත්තෙමු. එය එසේ වන්නේ නම් මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතයට වඩාත් සුබදායී පෙරනිමිත්තක් වනවා නොඅනුමානය.