වන් ටීම් වන් නේෂන් - ශ්‍රී ලංකා ක්‍රිකට් ගිලගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වත්මන් පරිපාලනය බලයට පැමිණිය දා සිට මේ වනතෙක් එහි ලාංඡනයට 'වන් ටීම් වන් නේෂන්' යන තේමා පාඨය එක්කර ඇත්තේ විශේෂ මහසභා අනුමැතියකින් (SGM) තොරව බව හෙළිවේ. මේ පිළිබඳව 'අද' මීට පෙර දිගින්දිගටම කරුණු අනාවරණය කළ අතර, මේ වනවිටත් ඊට අදාළ විශේෂ මහා සභා අනුමැතිය ලබාගෙන නොමැත.
ඒ සඳහා වන අනුමැතිය ලබාගෙන ඇත්තේ ක්‍රිකට් විධායක කමිටුවෙන් පමණක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එය නීති විරෝධී කටයුත්තක් බව අනාවරණය වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ලාංඡනයට යම් කිසි අතිරේක සලකුණක්, තේමා පාඨයක් හෝ වෙනත් දෙයක් එකතු කිරීමට අවශ්‍ය නම් එය විශේෂ මහා සභා රැස්වීමකදී අනුමත කළ යුතු අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතියද ඊට හිමිවිය යුතුය.
කෙසේ වෙතත් මේ වනවිට ඒ කිසිවකුත් ලබානොගෙන ක්‍රිකට් බලධාරීන් 'වන් ටීම් වන් නේෂන්' තේමා පාඨය ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනයට ඇතුළත් කරමින් ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් පවතියි. මෙහි පවතින ගැටලුව වනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනය ක්‍රමයෙන් කුඩා වී 'වන් ටීම් වන් නේෂන්' තේමා පාඨය විශාලව යොදා ගැනීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනයට වඩා 'වන් ටීම් වන් නේෂන්' තේමා පාඨය විශාලව දැක්වීමෙන් හා එහි ප්‍රවර්ධන කටයුතුවලින් විවිධ තරාතිරමේ පුද්ගලයන්ට වාසි හා ප්රතිලාභ අත්වන බව නොරහසකි. මේ වනවිට ලොව කිසිදු රටක් සිය ක්‍රිකට් ලාංඡනයට මෙවැනි ආකාරයේ තේමා පාඨයක් හෝ වෙනස් කිරීමක් සිදුකර නොමැත. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා ඉන්දියාව වැනි රටවල්ද සිය ක්‍රිකට් ලාංඡනය එලෙසම පවත්වාගෙන යන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පමණක් ලාංඡනය වෙනස් කර තේමා පාඨයට ප්‍රමුඛත්වය දීමේ වුවමනාවක් මතුව තිබේ.
'වන් ටීම් වන් නේෂන්' තේමා පාඨයක් ලෙස යොදා ගැනීමේ කිසිදු ගැටලුවක් නොමැත. ගැටලුව පවතිනුයේ අනිසි ආකාරයෙන් එම තේමා පාඨය විශාල කර හුවා දැක්වීමත් ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනය විකෘති කිරීමත්ය. මෙහි පවතින බරපතළම ගැටලුව වනුයේ අප මුලින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනයට මෙවැනි වෙනස්කමක් කිරීමට බලයක් නොමැතිව කාගේ බලයකට මෙවැන්නක් සිදුකළේද යන්නයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් ව්‍යවස්ථාවද මෙමගින් උල්ලංගණය කර ඇතැයි පිරිසක් චෝදනා කරන අතර, මෙතෙක් අදාළ තේමා පාඨය යෙදීමට නෛතික ප්‍රතිපාදන හෝ නීතිමය කාරණා සපුරා නොතිබීම හේතුවෙන් මෙය ව්‍යාපාරික අරමුණු උදෙසා සිදුකරන්නක්ය යන්නද සොයා බැලිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් උපලේකම් රවීන් වික්‍රමරත්න මහතාගෙන් කරුණු විමසා සිටි අතර, එහිදී ඔහු පවසා සිටියේ ලාංඡනය නිර්මාණය කිරීමේදී හා තේමා පාඨය දෙආකාරයකට යොදා ගැනීමේදී කිසියම් ගැටලුවක් මතුව ඇති බවයි. කෙසේ වෙතත් අදාළ ගැටලුව සම්බන්ධව වහා පියවර ගන්නා බවද වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
''ඇත්තටම බැලූ බැල්මට යම් කිසි ගැටලුවක් තිබෙනවා. තිරස්ව (Horizontal) යොදා ගැනීමේදී පමණයි ඔය ගැටලුව මතුවන්නේ. එසේ නොමැතිව සිරස්ව (Verticle) යොදා ගැනීමේදී ඔය කියන ආකාරයට ලාංඡනයට වඩා විශාල වන්නේ නැහැ. 'වන් ටීම් වන් නේෂන්' තේමා පාඨයට තිබුණේ මිලියන 20 ක් කියලයි. පසුව එකම කණ්ඩායමක් එකම ජාතියක් ලෙස එය වෙනස් වුණා.
මෙය අපේ ප්‍රවර්ධන වැඩසටහනක් පමණයි. දැන් අපේ ක්‍රීඩකයන්ගේ ටීෂර්ට්වල පවා තිබෙන්නේ එය නිවැරදි ආකාරයටයි. අපි ලාංඡනය (Logo) වෙනස් කරලා නැහැ. ලාංඡනය වෙනස් කරනවා නම් පමණයි ඔබ ඔය කියන අනුමැතිය අවශ්‍ය වන්නේ.
අනික ජාත්‍යන්තර තරගාවලිහිදී පවා ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනය පමණයි යොදා ගන්නේ. අපි දේශීයව ක්‍රීඩා කරන හා ප්‍රවර්ධන කටයුතු සිදුකරන විටදී පමණයි මෙයා යොදා ගන්නේ'' යැයි උපලේකම්වරයා වැඩිදුරටත් ඒ පිළිබඳව කරුණු දක්වමින් පවසා සිටියේය.
මේ අතර මේ දිනවල පැවත්වෙන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේදී මෙම ගැටලුව බරපතළව මතුව තිබෙන අයුරු දැකගත හැකි විය. විශේෂයෙන් තණතිල්ල මත විශාල බැනර් ඒ සම්බන්ධයෙන් යොදා තිබෙනුද දැකගත හැකිය.
ඒ නිසා දැන්වත් මෙම ගැටලුව විසඳාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගතයුතුය. විශේෂයෙන් ලාංඡනය හා මෙම තේමා පාඨය යෙදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පරක්කු වී හෝ ඉටු කළ යුතුය. එය එසේ වන්නේ නම් 'වන් ටීම් වන් නේෂන්' තේමා පාඨය යොදා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමටද බාධාවක් නොවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

