විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවත්ව යාමට සිදුවිය. කෙසේ වෙතත් මෙවර තරගාවලියට එක්ව සිටි කණ්ඩායම් කිහිපයකම පුහුණුකරුවන් හා උපදේශකයන් ලෙස ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්රීඩකයන් කිහිප දෙනෙකුම විය.
හතුරුසිංහ, කල්පගේ හා මාරියෝ
ඒ අතරින් ප්රධානම තැනැත්තා ලෙස හඳුන්වා දිය හැක්කේ සුදුසුකම් ලැබීමේ වටයේ සිට ප්රධාන තරගාවලියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකාරිත්ව මණ්ඩලය නියෝජනය කරන ශ්රී ලංකා ජාතිකයන්ය. බංග්ලාදේශයේ ප්රධාන පුහුණුකරු වන්නේ චන්දික හතුරුසිංහයි. රුවන් කල්පගේ බංග්ලාදේශ කණ්ඩායමේ සහකාර හා දග පන්දු යවන පුහුණුකරු වෙයි. ශ්රී ලංකා කණ්ඩායමේ අභ්යාසික පුහුණුකරු වූ මාරියෝ වෙල්ලවරායන් ඔවුන්ගේ අභ්යාසික පුහුණුකරු වෙයි.
චමින්ද වාස්
1996 වසරේ දිනාගත් ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ චමින්ද වාස් මේ වන විට අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරයි. කෙසේ වෙතත් පළමු වටයෙන්ම ඉවතට විසිවීමට අයර්ලන්ත කණ්ඩායමට සිදුවිය. වාස් ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන පුහුණුකරුද වෙයි.
මාවන් අතපත්තු
ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු ප්රධාන පුහුණුකරු වන මාවන් අතපත්තු මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි. ඔහු ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තාක්ෂණයෙන් අනූන පිතිකරුවෙකි.
දුලිප් මෙන්ඩිස්
ඕමාන කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඩුලිප් මෙන්ඩිස් ශ්රී ලංකාවට පළමු ටෙස්ට් තරග ජයග්රහණය හිමිකර දුන් නායකයාවෙයි. මෙවර තරගාවලියට සුදුසුකම් ලැබීමේ කණ්ඩායමක් ලෙස ඕමානය එක්වුවත් ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යාමට අවස්ථාවක් නොලැබුණි.
මහේල ජයවර්ධන
ශ්රී ලංකා කණ්ඩායමෙන් බිහිවූ තවත් විශිෂ්ඨ ක්රීඩකයෙක් වන මහේල ජයවර්ධන මෙවර තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ කොන්ත්රාත්තුව එංගලන්ත කණ්ඩායම තරගාවලියේ ක්රීඩා කළ පළමු තරග දෙකෙන් පසුව නිමාවට පත්විය.එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීය.
ICC නිලධාරී මණ්ඩලය
තරගාවලිය සංවිධානය කරන අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ නිලධාරී මණ්ඩලයද ශ්රී ලාංකකියන් කිහිප දෙනෙකු නියෝජනය කරනු ලබති. ඒ අතර තරග තීරක රංජන් මඩුගල්ලේ, විනිසුරන් වන කුමාර් ධර්මසේන, රන්මෝ මාටිනෙශ් හා රුචිර පල්ලියගුරුගේ වෙති.