එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් 35 දෙනෙකුගෙන් යුතු සංචිතයක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, ඔවුන් සංචිත කිහිපයක් යටතේ මේ වනවිට පුහුණුවීම් කටයුතු සිදුකරන බවත්, ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.
ඉදිරියේදී ආරම්භ වන එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග වදින ශ්රී ලංකා සංචිතය පිළිබඳව 'අද' කළ විමසීමකදී ඒ මහතා මෙම අදහසක් දැක්වීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම,
"ක්රීඩකයන් 35 දෙනෙකුගේ පමණ සංචිතයක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සංචිත කිහිපයක් යටතේ මේ වනවිට පුහුණුවීම් කටයුතු කරනවා. ඇතැම් ක්රීඩකයන් ශ්රී ලංකා 'ඒ' කණ්ඩායමත් සමග පුහුණුවීම් කරනවා. ජාතික කණ්ඩායමේ පුහුණුවීම් පසුගිය සතියේ ආරම්භ කළා. නමුත් අපි ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් පුහුණුවීම් කටයුතු ආරම්භ කර නැහැ. හඳුනාගෙන සිටින ක්රීඩකයන් අතර ආබාධ තිබෙනවද කියලා අපි හොයල බලනවා.
දැන් ලසිත් මාලිංග ආබාධයකට ලක්වෙලා. ඒ වෙනුවට ආදේශ ක්රීඩකයන් සොයාගෙන තිබෙනවා. ඔවුන්ව පුහුණුවීම්වලට යොමුකරලා ඒ අයත් එක්ක වැඩකරන්න ඕන. එමනිසා ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම නම්කර ඉදිරිපත් කළ යුතු අන්තිම දවස වෙනකම් ඒ අයත් එක්ක කටයුතු කරලා අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා." යැයි පවසා සිටියේය.