වසර 17කට පසුව මවුබිමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (04දා) ගාල්ලේදී දෙවැනි තරගයට මුහුණදීම සඳහා පිටියට පිවිසේ.තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි. ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ලෙසින් වැජඹෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම, ලොව අංක හත ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පසුගියදා ලද පරාජයෙන් මහත් සේ කැළඹී ඇතිවාට සැක නැත.
ගිලිහී ගිය සිය කීර්තිනාමය යළි ලබාගැනීමේ අටියෙන් නවමු සැලසුම් සහිතව ඔස්ට්‍රේලියානුවන් අද තරගයට පිවිසෙනු නොඅනුමානය. සියලු සාධක එක්ව ගත්කළ පළමු තරගයට සාපේක්ෂව දෙවැනි තරගයේදී, ඔස්ට්‍රේලියානුවන්ගෙන් අපට එල්ලවන පීඩනය තව තවත් තීව්රවීම වැළැක්විය නොහැක. පසුගියදා ගාල්ලට වැසි ඇද වැටුණද, වැසි නොකතා ඔස්ට්‍රේලියානුවන් සිය පුහුණුවීම්වල නිරතවූයේ එම අරමුණ පෙරදැරිවය.
පළමු තරගයේ ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වාසය යම් ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති ආකාරයක් දැකගත හැකිය. එම විශ්වාසය තව තවත් තහවුරු කරගැනීම සඳහා දෙවැනි තරගයේදීද, ඔස්ට්‍රේලියානුවන්ට අභියෝගයක් එල්ල කිරීම අත්‍යවශ්‍යය. ගාල්ල තණතිල්ලේ ස්වභාවය අනුව මුල් දින කිහිපය පිතිකරුවන්ට යෝග්‍ය තණතිල්ලක් බැවින්, පළමු ඉනිමේදී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට නුවණට හුරුය. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානුවන් දඟ පන්දු යවන්නන් හමුවේ පීඩනයට හසුවන බැවින් ගාල්ල තණතිල්ලද, පළමු දිනයේ සිටම දඟ පන්දු යවන්නන්ට සහාය දක්වන තණතිල්ලක් ලෙසින් සකස් කළ යුතු යැයි අප විශ්වාස කරන්නෙමු.
එහෙයින් කාසියේ වාසිය හිමිකරගැනීමට ඇන්ජලෝට අවස්ථාවක් හිමිවුවහොත් පළමුවෙන් පන්දුවට පහරදීම හිතකරය. පළමුවෙන් පන්දුවට පහර දෙන්නේනම් අවම වශයෙන් ලකුණු 350 ඉලක්කයවත් සපුරා ගැනීමට උත්සාහ කළ යුතුය. ඒ සඳහා පළමු පැය හෝ පැය දෙක තුළ ප්‍රතිවාදීන්ට කඩුලු ලබානොදීම ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකරය. අද ආරම්භ වන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදුවන ආකාරයක් පෙනෙන්නට තිබේ. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ ස්ථානයට නැවත වරක් කුසල් ජනිත්ව කැඳවා, කුසල්ගේ ස්ථානය රොෂේන් සිල්වාට හිමිවන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.
කුසල් ජනිත් එක්දින ආරම්භක පිතිකරුවෙකු වුවද, ටෙස්ට් තරග බිමේදී තවමත් සිය විශ්වාසය ගොඩනගාගෙන නොමැති බැවින් මේ අවස්ථාව වනවිට ඔහුට සුදුසුම ස්ථානය අංක 06 බව අපගේ විශ්වාසයයි. තවද එක්දින තරගයන්ට සාපේක්ෂව, කුසල් ජනිත් ටෙස්ට් තරග බිමේදී නව පන්දුව හමුවේ පීඩනයට හසුවන බැවින් ඔස්ට්‍රේලියාව වැනි ලොව ප්‍රබලම වේගපන්දු යවන්නන් හමුවේ කුසල් ජනිත්ව අත්හදා බැලීම එතරම් නුවණට හුරු නැත. කුසල් ජනිත් අංක 06 ස්ථානයේම තබා ගනිමින්, දිමුත්ට ආරම්භක පිතිකරු ලෙසින් කටයුතු කිරීමට තවත් අවස්ථාවක් හෝ දෙකක් ලබාදීම කළ යුතුව ඇත. විශේෂයෙන්ම තරගයක් ජයග්‍රහණය කර ඇති මොහොතක කණ්ඩායමේ විශාල වෙනස්කම් සිදුකිරීමද එතරම් නුවණට හුරු දෙයක් නොවේ. පළමු තරගයේ තීරණය වෙනස් කළ ලකුණු සම්බන්ධතාව ගොඩ නැගීමට හවුල් චන්දිමාල්, ගාල්ලේ වැඩි දක්ෂතා දක්වන බැවින් අද තරගයේදී චන්දිමාල්ගෙන් දිගු ඉනිමක් අපේක්ෂා කළ හැක.
නුවන් ප්‍රදීප් ආබාධයට ලක්ව ඇති බැවින් මෙම සටහන තබන මොහොත වනවිටත් ඔහුගේ සහභාගීත්වය අවිනිශ්විත විය. නුවන් ප්‍රදීප් ක්‍රීඩා නොකරන්නේ නම්, ඔහුගේ ස්ථානයට විශ්ව ප්‍රනාන්දු කැඳවීමට වැඩි අවස්ථාවක් පවතී. සුපුරුදු පරිදි දෙවැනි තරගයටද දඟපන්දු යවන්නන් තිදෙනා සමගින් පිටියට පිවිසෙනු ඇත. පළමු තරගයේ පරාජයත් සමගින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඒ අනුව දඟපන්දු යවන්නන් හමුවේ හොඳින් මුහුණදෙන උස්මාන් කවාජා සහ ඇඩම් වෝජස්ට අමතරව ෂෝන් මාෂ්ද කණ්ඩායමට කැඳවීමට වැඩි අවස්ථාවක් පවතියි. කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නුවණට හුරුය. පළමු තරගයේදී මෙන්ම, නව පන්දුවෙන් රංගනට වෝනර්ව දවා ගැනීමට හැකිවුවහොත් ඔස්ට්‍රේලියානුවන් නැවත වරක් පීඩනයට හසු කරගත හැක. යම් හෙයකින් වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට වෝනර්ට හැකි වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකි.