සත්කාරයේ තරමට ප්‍රතිඵල අත්විඳීමට නොහැකිවූ බංග්ලාදේශ කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින් අද (24දා) පැවැති පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 45 ක පරාජයක් අත්විඳීමට සිදුවිය. ඒ අනුව ජයග්‍රහණයකින් තරගාවලියට ප්‍රවිෂ්ටවීමට ඉන්දියාවට හැකිවිය.
ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 167 ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121 ක් පමණි.
තම ප්රේක්ෂයන්ට ජයග්‍රාහී අවසානයක් දැකබලා ගැනීම සඳහා වෙහෙවූ සබීර් රෙහමාන් අංක 03 පිතිකරුවා ලෙස පිටියට පිවිස ලකුණු 44 ක් රැස්කළේය. ඔහු හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට ජයග්‍රහණය අවැසි දායකත්වය බංග්ලාදේශය වෙනුවෙන් ලබාදීමට නොහැකි විය. ඉන්දියාව වෙනුවෙන් සාර්ථකම පන්දු යැවීම සනිටුහන් කළ අශිෂ් නෙහරා සිය පන්දුවාර 04 තුළදී ලකුණු 23කට කඩුලු 03ක් දවාළීය.
බංග්ලාදේශ නායක මෂ්රාෆි මොර්ටාසාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 166 ක් රැස්කිරීමට සමත්විය.
පළමුව පන්දු රැකීමට තෝරාගැනීමේ වාසිය තමන් දෙසට හරවා ගත් අල් අමීන් හුසේන් ඉනිමේ දෙවැනි පන්දුවාරයේදීම ශිකර් දවාන් (02) දවාගනිමින් ඉන්දීය ඉනිම පාලනය කිරීම ආරම්භ කළේය. එය තවදුරටත් ඉදිරියට රැගෙන ගිය මොර්ටාසා, මුලු ලකුණු 22 ක් වනවිට විරාට් කෝලිගේ (8) ඉනිමද කෙටි ඉනිමකට සීමා කළේය. සුරේෂ් රයිනාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳීසිටීමට නොහැකිවූ අතර, ලකුණු 13 ක් රැස්කරගෙන සිටි ඔහු ලකුණු පුවරුව 43 ක් වනවිට මහමදුල්ලාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
ඉන් අනතුරුව යුවරාජ් සිං සමගින් එක්වූ ආරම්භක පිතිකරු රොහිත් ශර්මා සිවුවැනි කඩුල්ලට ලකුණු 55 ක සබඳතාවක් ගොඩනගා ඉනිම මුලු ලකුණු 97 ක් දක්වා රැගෙන ආ අතර, යුවරාජ් සිං (15) දැවීයාමත් සමග එම සබඳතාව බිඳ වැටිණ. කෙසේ නමුත් ඒ වනවිට ලකුණු සොයමින් සිටි රෝහිත් ශර්මා, යුවරාජ්ගේ දැවීයාමත් සමග ලකුණු රැස්කිරීමේ වේගය වැඩි කළ අතර, ඒ සඳහා පස්වැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි හාදික් පාණ්ඩ්‍යාද සිය උපරිම දායකත්වය ලබාදුන්නේය. ඔවුන් දෙදෙනා පන්දු 27 ක් තුළ ලකුණු 61 ක සබඳතාවක් ගොඩනගා ඉනිම මුලු ලකුණු 166 ක් දක්වා රැගෙන ආවේය. පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 83 ක් රැස්කරගෙන සිටි ශර්මා 19.2 වැනි පන්දුවාරයේ දැවීයාමත් එම සබඳතා බිඳ වැටුණු අතර, ඉන් අනතුරුව පාද්යාටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳීසිටීමට නොහැකි විය. ඉනිමට එකදු ලකුණක් හෝ එක්වන්නට මත්තෙන් ලකුණු 31 ක් රැස්කරගෙන සිටි පාණ්ඩ්‍යාද දැවී ගියේය. එම කඩුලු දෙකෙහිම හිමිකරුවා වීමට අල් අමීන් හුසේන් සමත් විය.
ඉනිමේ 10 වැනි පන්දුවාරයේ 03 වැනි පන්දුවේදී රෝහිත් ශර්මා ලකුණු 21 ක් රැස්කරගෙන සිටියදී ටස්කින් අහමඩ්ගේ පන්දුවක් හමුවේ ශකීබ් අල් හසන් අතට ලබාදුන් උඩපන්දුව ගිලිහී නොයන්නට තරගයේ ප්රතිඵය මීට වඩා වෙනස්වන්නට ඉඩ තිබුණි. තරගයේ වීරයා ලෙස රෝහිත් ශර්මා සම්මාන දිනාගත්තේය.
ඉන්දියාව 166/6 (පන්දුවාර 20)
රෝහිත් ශර්මා 83 (55, 4x7, 6x3), ශිකර් දවාන් 2 (4), විරාට් කෝලි 8 (12, 4x1), සුරේෂ් රයිනා 13 (13, 4x2), යුවරාජ් සිං 15 (15, 4x1), හාදික් පාණ්ඩ්‍යා 31 (18, 4x4, 6x1), එම්.එස්. දෝනි නොදැවී 8 (2, 6x1), රවින්ද්‍ර ජඩේජා නොදැවී 0 (0)
බංග්ලාදේශය පන්දු යැවීම
අල් අමීන් හුසේන් 3/37 (4), මෂ්රාෆි මොර්ටාසා 1/40 (4), මහමදුල්ලා 1/9 (2), ශකීබ් අල් හසන් 1/15 (3)
බංග්ලාදේශය 121/7 (පන්දුවාර 20)
සෞම්‍ය සර්කාර් 11 (14, 4x1), මොහොමඩ් මිතුන් 1 (3), සබීර් රෙහමාන් 44 (32, 4x2, 6x2), ඉම්රුල් කායෙස් 14 (24, 4x1), ශකීබ් අල් හසන් 3 (8), මුෂ්ෆිකර් රහීම් (නොදැවී) 16 (17, 4x2), මහමදුල්ලා 7 (6, 4x1), මෂ්රෆි මොටාසා 0 (1), ටස්කින් අහමඩ් (නොදැවී) 15 (15, 4x1, 6x1)
ඉන්දියාව පන්දු යැවීම
අශිෂ් නෙහරා 3/23 (4), ජස්ප්‍රිට් බුම්රාහ් (4), හාදික් පාණ්ඩ්‍යා 1/23 (4), රවිචන්ද්‍රන් අශ්වින් 1/23 (4)