එළඹෙන 2018 හා 2022 වර්ෂවලදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිවල සත්කාරකත්වය පිළිවෙළින් හිමි රුසියාව හා කටාර් රාජ්‍යයන්ට එම සත්කාරකත්වය අහිමි වීමේ අවදානමක් ඇතැයි වාර්තා වේ. ඒ මෙම රටවල් සිය සත්කාරකත්වන් ලබාගැනීම උදෙසා අයථා ලෙස මුදල් භාවිත කර ඇති බවට චෝදනා එල්ල වීමත් සමගිනි.
මේ සම්බන්ධයෙන් විදෙස් පුවත්පතක් වෙත කරුණු දක්වමින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) හි විගණන හා අනුමැති කමිටුවේ ප්‍රධානී ඩොමිනිකෝ ස්කෙලා පවසන්නේ මෙම රටවල් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයන් සඳහා පැවැති ඡන්ද විමසීම්වලදී මුදල් ගෙවා ඡන්ද ලබාගත් බව හෙළි වුවහොත් ඔවුන්ගේ සත්කාරකත්වය අවලංගු කිරීමට කටයුතු කරන බවයි.
ස්කෙලා මේ ආකාරයේම ප්‍රකාශයක් 2013 වර්ෂයේදීද සිදුකර තිබුණත් ෆිෆාහි වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදයන් හේතුවෙන් මෙම ප්‍රකාශය දැඩි කථාබහට ලක්වී ඇතැයි වාර්තා වේ. මූල්‍ය වංචාවන් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට සැකපිට ෆිෆාහි ඉහළ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු පසුගියදා ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, ෆිෆාහි සභාපති සෙප් බ්ලැටර් පසුගිය සතියේදී සිය තනතුරින් ඉල්ලා අස්වීමද මෙම දැල්වෙන ප්‍රශ්නවලට තවදුරටත් පිදුරු දැමීමක් බඳුවිය.