(GRAPHIC) සිවු වසරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගය හෙට (31දා) රාත්‍රී 8. 30 ට එංගලන්තයේ ට්වික්න්හැම් පිටියේදී පැවැත්වේ. බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදිම ලෝක රග්බි ක්ෂේත්රයේ අසල්වාසී පතාක යෝධයන් දෙදෙනෙකු වන නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇත. කණ්ඩායම් දෙක ලෝක කුසලාන අවසන් මහා තරගයක දී මුණගැසෙන පළමු අවස්ථාව මෙය වෙයි.
කෙසේ වෙතත් තරගාවලියට පෙරම තමන් මෙවර තරගාවලියේ හොඳම කණ්ඩායම් ද්විත්වය බවට ඉඟි පළ කිරීමට කණ්ඩායම් දෙකකම සමත් වූයේ ආරම්භයේ සිට මේ දක්වාම අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන ද්විත්වය (නවසීලන්තය (1) ඔස්ට්‍රේලියාව (2)) හිමි කරගනිමිනි. මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම් ද්විත්වය ඔවුන් වන අතර, 2003 වර්ෂයේදී පැවැති තරගාවලියෙන් අනතුරුව එවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාවද වේ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙස බැලීමේදී ඔවුන්ගේ බොහෝ ක්‍රීඩකයන් ආබාධවලට ලක්වුවද, සිය ක්‍රීඩා විලාසය එක හා සමාන මට්ටමක පවත්වා ගැනීමට ඔවුන්ට හැකිවිය. විශේෂයෙන් ප්‍රතිවාදී අවසන් මීටර් 5 සීමාව තුළදී තමන්ට ලැබුණු ස්ක්රම් අවස්ථා හා ලයින් අවුට් (පන්දුව පිටියෙන් ඉවතට යෑම්)වලදී විශිෂ්ට දස්කම් දැක්වීමට ඔවුන් සමත් වූ අතර, එමගින් ඔවුන්ට පහසුවෙන් ලකුණු රැස්කිරීමටද හැකිවිය. තරගාවලිය මුලදී සිය ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගෙන් අවසන් මීටර් 5 සීමාව තුළදී වැඩි වැඩකොටසක් ඉටුකරගත් ඔවුන් පසුගියදා පැවැති අවසන් තරගවලදී ප්‍රතිවාදී සීමාව තුළ වැඩි වැඩකොටසක් ඉටු කරගත්තේ පසුපෙළ ක්‍රීඩකයන්ගෙනි. ඊට අමතරව දැඩි ආරක්ෂක (Defencr) ක්‍රීඩා රටාවක් මගින් ප්‍රතිවාදීන් පීඩනයට පත්කිරීමක් ඔවුන්ගෙන් දක්නට ලැබුණු අතර පළමු වටයේ සත්කාරක එංගලන්ත හා වේල්සය සමගින් පැවැති තරග ජයට ඒවා බෙහෙවින් ඉවහල් විය.
ඔස්ට්‍රේලියානු ඉදිරිපෙළ ක්‍රීඩකයන් අතරින් ෆ්ලෑන්කර් ක්‍රීඩකයන් දෙදෙනා ලෙස ක්‍රීඩා කරන ඩේවිඩ් පෝකොක් හා කණ්ඩායමේ උපනායක මයිකල් හූපර් දක්ෂ ක්‍රීඩා විලාසයක නියැළෙනු දක්නට ලැබිණි.
පසුපෙළ ක්‍රීඩකයන් අතරින් බර්නාඩ් ෆොලී (ෆ්ලයි හාෆ්) කණ්ඩායමේ කිකර් ක්‍රීඩකයා වශයෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත් විය. ඔවුන්ට අමතරව ටෙවිටා කුරිඩ්රානි (සෙන්ටර්), ඩ්රෑ මිචෙල් (වින්ග්), ඇඩම් ඈෂ්ලි කූපර් (වින්ග්) හා ඊශ්‍රායල් ෆලාවු (ෆුල් බැක්) ඕනෑම අවස්ථාවක ප්‍රතිවාදී ආරක්ෂක පවුරු බිඳ දැමීමට සමත් ක්‍රීඩකයන්ය.
මේ අතර නවසීලන්තය ගත් කල බොහෝ අවස්ථාවලදී මෙන්ම සිය ඇදහිය නොහැකි ක්‍රීඩා රටාව හා තරග සැලසුම් තුළින් ප්‍රතිවාදීන්ගේ මානසිකත්වය බිඳදැමීමක් මෙවරද දක්නට ලැබුණි. ලොව හොඳම උපකාරක ක්‍රීඩා රටාව (Support playing) නවසීලන්තයේ දක්නට ලැබෙන අතර, කොතරම් දක්ෂ ප්‍රතිවාදී ආරක්ෂක උපක්‍රම තිබුණද පන්දුව අතට ගත් සැණින් ප්‍රතිවාදී උත්සාහක දිනුම් සීමාව (Try line) කරා ළඟා වීමට ඔවුහු දැඩි උත්සාහයක් ගනිති. මේ නිසාම ආරක්ෂාකාරී උපක්රමවලට වඩා ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ ආක්‍රමණශීලී (Attacking) උපක්‍රම සඳහායි. ඒ සඳහා විශිෂ්ට ගණයේ පන්දු හුවමාරුවක්ද (Ball Handling) ඔවුන්ගේ දක්නට ලැබිණි.
තරගාවලිය පුරාවට ෆ්ලෑන්කර් ක්‍රීඩකයන් වන කයිනෝ හා නායක රිචී මැකෝද නොම්මර 08 ස්ථානයේ ක්‍රීඩා කරන කිරන් රීඩ් නවසීලන්ත කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලෙස අතිදක්ෂ ක්‍රීඩා රටාවක නියැළෙනු දක්නට ලැබිණි.
පසුපෙළ ක්‍රීඩකයන් අතරින් ජුලියන් සැවියා (වින්ග්) මෙම තරගාවලියේ සුවිශේෂම චරිතය බවට පත්වූයේ ලෝක කුසලාන එක් තරගාවලියකදී වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් රැස්කිරීමේ වාර්තාව සම කිරීම හේතුවෙනි. එමෙන්ම ලෝ ප්‍රකට ජොනා ලොමූහා සමාන දැඩි සමබරතාවත් (Balance) ප්‍රතිවාදී ක්‍රීඩකයන් සඳහා මනා තාක්ෂණයකින් යුතුව එල්ල කරන වැදීම් (Hits) ආදියන් මෙවර ඔහුගේ සාර්ථකත්වයට ඉවහල් විය. කෙසේ නමුත් බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩක මා නෝනුගෙන් මෙවර එතරම් ඉහළ දස්කම් දක්නට නොලැබුණි.
කණ්ඩායම් ද්විත්වය මීට පෙර ජාත්‍යන්තර රග්බි පිටියේදීම අවස්ථා 154 කදී මුණගැසී ඇති අතර, ඉන් අවස්ථා 105 ක ජය හිමි කරගෙන ඉදිරියෙන් සිටින්නේ නවසීලන්තයයි. අවස්ථා 42 ක ජය හිමි කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි. ඉතිරි අවස්ථා (07) ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව ඇත.
කෙසේ නමුත් කණ්ඩායම් දෙකම සත්කාරකත්වය නොදරන පිටියකදී (Neutral Venue) මෙම තරගය පැවැත්වෙන බැවින් කණ්ඩායම් දෙකටම පිටියෙන් අමතර වාසියක් නොලැබෙන අතර, මීට පෙර මෙම කණ්ඩායම් දෙකම එවැනි අවස්ථා 04 කදී මුණගැසී ඇත. එයින් තරග ද්විත්වය බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන ඇත. කෙසේ නමුත් අවසන් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම ඊයේ (30දා) සවස්වන විටත් මාධ්‍යයට නිකුත් කර නොතිබිණි.
තරගාවලියේ තෙවැනි ස්ථානය හෙවත් ලෝකඩ පදක්කම සඳහා දකුණු අප්‍රිකාව හා ආර්ජන්ටිනාව අද (30දා) රාත්‍රී 8.00 ට ලන්ඩනයේදී තරග වැදීමට නියමිත වේ. මෙම කණ්ඩායම් ද්විත්වයේ ක්‍රීඩා රටාවන් අධ්‍යයනය කළ විටදී දකුණු අප්‍රිකාව ශක්තිමත් භාවය අතින්ද ආර්ජන්ටිනාව වේගවත් ක්‍රීඩා රටාව අතින්ද ඉදිරියෙන් සිටිති. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති තරග 21 න් තරග 19 ක ජයගෙන දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටින අතර, එක් තරග ජයක් ආර්ජන්ටිනාව විසින් හිමි කරගෙන ඇත. එක් තරගයක් පමණක් ජය පැරදුමින් තොරව අවසන්ව ඇත.
තරගය දකුණු අප්‍රිකාවේ බ්‍රයන් හබානාට වඩාත් සුවිශේෂ වන්නේ ලෝක කුසලාන තරගාවලිවලදී වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයන් අතර, මේ වනවිට ඔහු නවසීලන්තයේ ජොනා ලොමූ හා සම තත්ත්වයේ (15) සිටින බැවිනි. එමෙන්ම තරගාවලියේ මේ වනවිට වැඩිම ලකුණුලාභියා වන ආර්ජන්ටිනාවේ නිකොලාස් සැන්චේස් මෙම තරගයේදී තවදුරටත් එම වාර්තාව ආරක්ෂා කර ගනු ඇතැයි සිතිය හැකිය.
තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් මේ වනවිට එළි දක්වා ඇති අතර, දකුණු අප්‍රිකානු ස්ක්රම් හාෆ් ක්‍රිඩක ෆොරී ඩු ප්රීස් හනුවේ ආබාධයක් හේතුවෙන් තරගයට ක්‍රීඩා නොකරන බවද වාර්තා වේ. ප්රීස් මෙවර තරගාවලියේදී තරග කිහිපයකදී කණ්ඩායමේ නායකත්වයද දැරීය. ඒ අනුව ලොක් ක්‍රීඩක වික්ටර් මැට්ෆීල්ඩ් තරගයේදී සිය කණ්ඩායම මෙහෙයවනු ලබන අතර, ආර්ජන්ටිනා නායක ඔගස්ටින් ක්රීවි ද අවසන් තරගයට ක්‍රීඩා නොකරන බව වාර්තා වේ. ඒ අනුව නිකොලාස් සැන්චේස් ආර්ජන්ටිනාව මෙහෙයවීමට නියමිතය.
ග්‍රැෆික් සටහන - මංජු ප්‍රදීප් කුමාර