ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන හෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සූදානමින් සිටින ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි වමත් පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර නොමැතිව වසර 15කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම අද (03දා) ටෙස්ට් ක්‍රිකට් තරගයකට පිවිසෙයි. ඒ සංචාරක පාකිස්තානු කණ්ඩායම සමග පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේදී පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට අවතීර්ණ වෙමිනි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලට විටින් විට වර්ෂාවේ බලපෑම ඇතිවන හෙයින් මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීමට වැඩි ඉඩක් පවතියි.
අද තරගයට කුමාර් සංගක්කාර සහභාගී නොවන බැවින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට උපුල් තරංග කැඳවීමට තේරීම් කමිටුව පසුගියදා කටයුතු කළේය. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසා සිටියේ තරංගට අමතරව කුසල් ජනිත් හා ජෙහාන් මුබාරක් දෙදෙනාද සංචිතයේ සිටින බැවින් ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු අද තරගයට ක්‍රීඩාකිරීමට ඉඩක් පවතින බවයි. තණතීරුව අනුව එය තීරණය වන බවද ඔහු පවසා සිටියේය.
කෙසේ නමුත් කුමාර් සංගක්කාරගේ ස්ථානය කුසල් ජනිත් පෙරේරාට හිමිවනු ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් අංක තුන ස්ථානය සඳහා මේ වනවිට කණ්ඩායමේ සිටින හොඳම පිතිකරුවා ළහිරු තිරිමාන්න බැවින් ඔහුට කුමාර් සංගක්කාර නොමැතිවීම හේතුවෙන් හිස්වූ අංක තුන ස්ථානය හිමිවීම වඩා වැදගත්ය. එමෙන්ම අංක හතර ස්ථානය දිනේෂ් චන්දිමාල්ට ලබාදෙන්නේ නම් කණ්ඩායමට ඔහුගෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගත හැකි අතර, එය සිය හැකියාවන් ඉදිරිපත් කිරීමට ඔහුටද හොඳ අවස්ථාවක් වනු ඇත. අංක පහ ස්ථානයේ මැතිව්ස් හොඳින් පන්දුවට පහරදෙන බැවින් ඔහුගේ ස්ථානය වෙනස් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට සුබවාදී නොවනු ඇත.
ඔවුන්ට අමතරව කිත්රුවන් විතානගේ අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් ඒ දෙවැනි තරගයේ දෙවැනි ඉනිමේදී ලබාගත් වේගවත් ලකුණු 34 නිසා බව සඳහන් කළ යුතුමය. ඔහු විසින් පළමු ඉනිමේදී එල්ල කළ පහර ඔහුගේ ස්ථානය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති කිරීමට ප්‍රබල හේතුවක් වූ බව කිත්රුවන් මතකයේ තබාගැනීම ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවියට වැදගත් වනු ඇත.
දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී කඩුලු 05ක් දවාගත් තරිඳු කෞෂාල් දෙවැනි ඉනිමේදී පළමු ඉනිමට වඩා තරමක් වේගයෙන් පන්දු යවන අයුරු දැකගත හැකිවිය. එහෙයින් දඟපන්දු යවන්නෙකු ලෙස පන්දු ගුවනේ පා කිරීමට කටයුතු කරන්නේ නම් තරිඳුට මීට වඩා ප්‍රතිඵලයක් ලබාගත හැකිව තිබිණි. තරිඳු තවමත් අත්දැකීමක් ලබාගනිමින් සිටින බැවින් ඔහුගේ අඩුපාඩු සම්බන්ධයෙන් දැනුවත් කිරීම පුහුණුකරුවන්ගේ වගකීමකි. එමෙන්ම පන්දු යැවීමේදී සිදුකරනු ලබන සංකලනයන් නිරන්තරයෙන් සිදුනොකර අත්දැකීම් සමගින් ඒවා යොදාගැනීමට තරිඳු උත්සාහ කළ යුතුය. මන්ද ජාත්‍යන්තර පිටියට පැමිණි විගසම තමන් සතුව පවතින සියලුම සංකලනයන් එකවර මුදාහැරියහොත් එක් තරගාවලියකින් හෝ දෙකකින් පසුව පිතිකරුවන් ඒ සඳහා හොඳින් සූදානම් වන බැවින් ඔහුට පහසුවෙන් පහර දෙනු ඇත. වසර දෙක තුනකට පසුව අජන්ත මෙන්ඩිස්ට සිදුවූයේද මෙයමය. එබැවින් මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත් අධ්‍යයනය කිරීම සහ ඔවුන්ගෙන් උපදෙස් ලබාගැනීම තරිඳුගේ ඉදිරි අනාගතයට වැදගත් වනු ඇත.
ධම්මික ප්‍රසාද් හා දුෂ්මන්ත චමීර හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට වසර ගණනාවක් අඩුව පැවැති වේගපන්දු යැවීමේ සුසංයෝගයක් සැකසෙමින් පැවතීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සුබ පෙර නිමිති පළකිරීමකි. කෙසේ වෙතත් චමීර පිටකොන්දේ ආබාධයකට ලක්ව ඇති හෙයින් අද තරගයට ඔහු ක්‍රීඩා නොකරන බව තේරීම් කමිටු සභාපතිවරයා පවසා සිටියේය. ඒ වෙනුවට නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ඔවුන් දෙදෙනාම කණ්ඩායමට එක්විය හැකි බවද ඔහු පවසා සිටියේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවක්ව ඇත්තේ මේ වනවිට පාකිස්තානු පිතිකරුවන් රංගන හේරත්ට හොඳින් පහරදීමයි. ඒ හේතුවෙන් විකල්ප අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කිරීමට මැතිව්ස්ට සිදු වෙයි. රංගනට කඩුලු ලැබෙන්නේ නම් එය මැතිව්ස්ගේ පීඩනය අඩු කිරීමට හේතුවක් වනු ඇත.
පාකිස්තානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු මෙන්ම පිතිකරණ සම්බන්ධතා බිඳදැමීමට හැකි පන්දු යවන්නෙකු වන මොහොමඩ් හෆීස් අද තරගයට ක්‍රීඩා නොකිරීම පාකිස්තානු කණ්ඩායමට පාඩුවකි. හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ සඳහා වන පරීක්ෂණයකට මුහුණදීමට හෆීස්ට ඉන්දියාව බලා පිටත්ව යෑමට ඇති බැවින් ඔහු අද තරගයට ක්‍රීඩා නොකරනු ඇත.
පාකිස්තානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා වන යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් ලකුණු අතර නොමැතිවීම පාකිස්තානු කණ්ඩායට ගැටලුවක් බවට පත්ව ඇත. එමෙන්ම මේ වනවිට පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් මෙන්ම නායකයන්ද යුනිස් ඛාන්ට සහ මිස්බාට ක්‍රිකට් දිවියෙන් සමුගන්නා ලෙස ප්‍රකාශ ඉදිරිපත් කරමින් සිටීමද ඔවුන් දෙදෙනාගේ පීඩනය තව තවත් වැඩි කිරීමට හේතුවක්ව ඇත. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියකි. එහෙත් මොවුන් දෙදෙනා මෙවැනි අවස්ථාවලදී සාර්ථක වන බැවින් ඔවුන් දෙදෙනා එකවර සාර්ථක වුවහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට ගැටලුවකි.
තවද ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක්ව ඇත්තේ පාකිස්තානු පා දඟ පන්දු යවන්නා වන යශීර් ෂාය. අවසන් වූ තරග දෙක තුළදීම යශීර්ට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ අපොහොසත් වූහ. එහෙයින් යශීර්ව පාලනය කරගැනීමට සැලසුමක් ඇතිව ඔහුට මුහුණදීමට ශ්‍රී ලංකා පිතිකරුවන් ක්රියාකළයුතුව ඇත.
ඡායාරූප - ශාන්ත රත්නායක