ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාට හා රංගන හේරත්ට තරග පාවාදීමට යෝජනා කිරීම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා අද (19දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණීමට නියමිතය. තම ප්‍රකාශය පෙ.ව. 10.00ට ලබාදෙන බව මැතිව්ස් 'අද' පුවත්පතට සඳහන් කළේය.
අදාළ ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් මැතිව්ස්ට ඊයේ දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණෙන ලෙස දන්වා තිබුණද, තමාට එදිනට සහභාගි විය නොහැකි බව ඔහු මූල්‍ය අපරාධ ඒකකයට දන්වා තිබිණි.
එසේම තරග පාවාදීම් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙරී වවුටර්ස් මහතා ඊයේ දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණි අතර, ඔහුගෙන් අදාළ සිදුවීම පිළිබඳව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
කුසල් හා රංගන හේරත් තරග පාවාදීම් සඳහා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේගපන්දු පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක මහතාගේ සේවය මාස දෙකක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (18දා) කටයුතු කරනු ලැබීය.
එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දැල් තුළ පන්දු යවන්නෙකු වන (Net Bowler) ගයාන් විශ්වජිත් නමැත්තාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ක්‍රීඩාංගණ තුළට පැමිණීමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පසුගිය ඔක්තෝබර් මාසයේ ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයට පෙරාතුව කුසල් පෙරේරාට හා රංගන හේරත්ට තරග පාවාදීම් සඳහා ආරාධනා ලැබී තිබිණි. කෙසේ වෙතත් තමන්ට තරග පාවාදීමට කළ යෝජනා සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා විමර්ශන ඒකකය දැනුවත් කිරීමට කුසල් හා රංගන හේරත් කටයුතු කළහ.
තරග පාවාදීම ප්‍රතික්ෂේප කළ කුසල් පෙරේරාට මේ වනවිට තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබේ. ඒ හේතුවෙන් කුසල් පෙරේරාගේ තහනම් උත්තේජක චෝදනාව හා තරග පාවාදීමේ සිදුවීම පසුපස සම්බන්ධයක් පවතින බවට ඇතැම් පාර්ශ්ව සැක පළකළ අතර, ක්‍රීඩා අමාත්‍යවරයාද තරග පාවාදීම් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිලි කර තිබිණි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් සාක්ෂි සටහන් කරගැනිම ආරම්භ කළ අතර, මීට ඉහතදී කුසල් පෙරේරාගෙන් හා රංගන හේරත්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කටයුතු කළේය.