රියෝ ඔලිම්පික් ක්රීඩා උලෙළේ තවත් බලාපොරොත්තුවක් ශ්රී ලංකාවට ඊයේ (09දා) අහිමි වී ගියේය. බ්රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වෙන මෙවර ඔලිම්පික් ක්රීඩා උලෙළට ශ්රී ලංකාව නියෝජනය ක්රීඩක ක්රීඩිකාවන් 09දෙනෙකු සහභාගී වූ අතර, ඉන් අහිමි වූ 05 වැනි බලාපොරොත්තුව පිහිනුම් ක්රීඩක මැතිව් ඇබේසිංහ විය.
මීටර 100 පිහිනුම් නිදහස්ආර පිරිමි ඉසව්වේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට (2 Heat) සහභාගී වූ ශ්රී ලංකාවේ මැතිව් අබේසිංහ, එම ඉසව්ව තත්. 50.96කින් අවසන් කර තෙවැනි ස්ථානය දිනාගත්තේය. කෙසේ නමුත් ඔහු ගතකළ කාලය සමස්ත තරගයට සහභාගීවූ ක්රීඩකයන් 59 දෙනෙකු අතරින් 50වැනි ස්ථානය වූයෙන් ඔහුට අවසන් 16 අතරට (අවසන් පූර්ව) සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
මෙවර තරගාවලියේ ඔහු සහභාගී වන එකම ඉසව්ව එය පමණක් වීමෙන් මැතිව්ටද හිස් අතින් නැවත ඒමට සිදුවිය.
කෙසේ නමුත් ඔහු ගතකළ කාලය පිහිනුම් නිදහස්ආර ඉසව්වේ නව ශ්රී ලංකා වාර්තාවක් වූ අතර, ඔහු මීට පෙර ඉකුත් පෙබරවාරි මස ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්රීඩා උලෙළේදී (සාග්) මෙම ඉසව්ව තත්. 51.23කින් අවසන් කර එම වාර්තාව පිහිටුවා තිබුණි. මැතිව් ඉකුත් සාග් ක්රීඩා උලෙළේදී දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයා ලෙසද සම්මාන දිනාගත්තේය.
මේ වනවිට ශ්රී ලංකා වාර්තා 06ක් තමන් සතුකරගෙන ඇති 20 හැවිදිරි මැතිව් අබේසිංහ, මී. 50 (නිදහස්ආර), මී. 100 (නිදහස්ආර), මී. 200 (නිදහස්ආර), මී. 100 (සමනලආර), මී. 200 (මිශ්රආර) හා මී. 400 (මිශ්රආර) යන ඉසව්වලින් එම වාර්තා පිහිටුවා තිබේ.
මෙවර රියෝ ඔලිම්පික් උලෙළට සහභාගී වූ කිමිකෝ රහීම් (පිහිනුම්), සුදේෂ් පීරිස් (බර ඉසිලීම), මංගල සමරකෝන් (වෙඩිතැබීම) හා චාමර ධර්මවර්ධන (ජූඩෝ) යන අයගේ බලාපොරොත්තු මේ වනවිට ශ්රී ලංකාවට අහිමි වී ඇත.
මැතිව් අබේසිංහ