සමස්ත ශූරතාව මාස් යුනිචෙලා ක්‍රීඩා සමාජය දිනාගනිමින් සිවුවැනි ජාතික ෆෙන්සින් ශූරතාවලිය පන්නලදී ඊයේ (12දා) නිමාවට පත් විය. ජයග්‍රාහී යුනිචෙලා ක්‍රීඩකයෝ රන් පදක්කම් 03 ක්, රිදී පක්කමක් හා ලෝකඩ පදක්කම් 03 ක් සමගින් සමස්ත පදක්කම් 07 ක් දිනාගැනීමට සමත් වූහ. යුනිචෙලා ක්‍රීඩා සමාජය තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර, පසුගිය වාර ත්‍රිත්වයේදීම ඔවුන්ට අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
මෙහි අනුශූරතාව ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට හිමි වූ අතර, ඔවුන් රන් 02 ක්, රිදී 03 ක් හා ලෝකඩ 03 ක් සමගින් සමස්ත පදක්කම් 07 ක් දිනාගැනීමට සමත් විය. ඔවුන් ඉකුත් වසර තුනේදීම මෙහි සමස්ත ශූරතාව දිනාගෙන ඇති කණ්ඩායම වීම විශේෂත්වයකි.
මාස් යුනිචෙලා කණ්ඩායම
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා (Best Fencer- male) ලෙස සම්මානය දිනාගැනීමට මාස් යුනිචෙලා ක්‍රීඩා සමාජයේ මංජුල ප්‍රනාන්දු සමත්වූ අතර, ඔහු නොකඩවා මෙම සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ. මංජුල මෙවර තරගාවලියේ පිරිමි සබ්රේ ඉසව්වේ ශූරතාවද දිනාගත් අතර, ඔහු එම ඉසව්ව නොකඩවා ජයගත් තෙවැනි අවස්ථාව මෙය විය.
මංජුල ප්‍රනාන්දු
මේ අතර එම්.ඩී.එස්. ක්‍රීඩා සමාජය නියෝජනය කළ රීටා ප්රකාශම් මෙහි දක්ෂතම ක්‍රීඩිකාව (Best Fencer- female) ලෙස සම්මාන දිනාගත්තාය. ඇය තරගාවලියේ ෆොයිල් අංශයෙන් ශූරතාව දිනාගත්තාය. කෙසේ වෙතත් පසුගිය වාර ත්‍රිත්වයේදීම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ නිරංජලා වීරරත්නට මෙවර එපී අංශයේ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමට සිදු වීම කැපී පෙනුණි. මෙම ජයග්‍රහණවලට අමතරව පිරිමි කණ්ඩායම් ශූරතාව යුනිචෙලා ක්‍රීඩා සමාජය විසින්ද, කාන්තා කණ්ඩායම් ශූරතාව ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය විසින්ද දිනාගත්හ.
රිටා ප්රකාශම්
ජාතික ෆෙන්සින් සංගමය සිවුවැනි වරට සංවිධානය කරනු ලැබූ තරගාවලිය පෙරේදා (11) ආරම්භ වූ අතර, ඒ සඳහා ක්‍රීඩා සමාජ 09 ක් නියෝජනය කරමින් තරගකරුවන් 160කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූහ. පිරිමි හා කාන්තා ඒකල ඉසව් 06 ක් හා යුගල ඉසව් 03 ක් යටතේ තරගාවලිය පැවැත්විණි.
ත්‍යාග, කුසලාන හා සහතිකපත් ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙසින් මාස් ඉන්ටිමේට්ස්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ඩයන් ගෝමස් මහතා සහභාගි විය.
ඒකල පිරිමි තරග ප්‍රතිඵල
ෆොයිල් (Foil) - සුපුන් සෙනෙවිරත්න
එපී (Epee)- දුෂාන් ළහිරු
සබ්රේ (Sabre) - මංජුල ප්‍රනාන්දු
ඒකල කාන්තා තරග ප්‍රතිඵල
ෆොයිල් (Foil) - රීටා ප්රකාහම්
එපී (Epee)- පියුමි හංසනී
සබ්රේ (Sabre) - අනුරුද්ධිකා ධනංජනී