ශ්‍රී ලං‘කා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මාස 6කට ආසන්න කාලයක් ක්‍රීඩා කළ නොහැකි බව වාර්තා වේ. ඒ පිළිබඳ අවසන් තීරණය තවත් මාසයකින් පමණ සිදුකරන ස්කෑන් පරීක්ෂණයෙන් අනතුරුව ප්‍රකාශ කරන බවද වාර්තා වේ.
මාලිංග ඊයේ (20දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව හමුවේ පෙනී සිටි අතර, නිල නොලත් ආරංචි මාර්ග පවසනුයේ මාලිංගට එළඹෙන එංගලන්ත, ඔස්ට්‍රේලියානු සංචාර ද්විත්වය අහිමි වන බවයි. එමෙන්ම නොවැම්බර් මස දක්වා මාලිංගව විවේක ගැන්වීමට කටයුතු කරන ලෙස දැනුම්දී ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුව සකස් කළ මාලිංගගේ ආබාධය පිළිබඳ වෛද්‍ය වාර්තාව එළඹෙන සඳුදා (25දා) හෝ අඟහරුවාදා (26දා) ක්‍රිකට් ආයතනය වෙත භාරදීමට නියමිතය.
මාලිංගගේ ආබාධය පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් කරුණු වීමසීමේදී හෙතෙම පවසා සිටියේ, මාලිංගට මාස ගණනාවක් ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටීමට සිදුවන බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "මාලිංගගේ වෛද්‍ය වාර්තාව සඳුදා හෝ අඟහරුවාදා ක්‍රිකට් ආයතනයට අපි භාරදෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ සිට වෛද්‍ය හරිඳු හා මම අපි දෙදෙනාම මාලිංගට වෛද්‍ය ප්‍රතිකාර කරනවා. ක්‍රිකට් ආයතනය ඉල්ලපු වාර්තාව මේ වනවිට සකසමින් පවතිනවා. මාලිංගට කොපමණ කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකිද කියලා තවම ස්ථිර ප්‍රකාශයක් ලබාදිය නොහැකියි.
එය තීරණය වන්නේ ඔහු යථා තත්ත්වයට පත්වන වේගය අනුවයි. හැබැයි පැහැදිලිවම කියන්න පුළුවන් මාලිංගට ටික කාලයක් ක්‍රීඩාවෙන් ඈත්වෙලා ඉන්න වෙයි. අඩුම ගාණේ මාස ගණනාවක් දක්වා එය දීර්ඝ විය හැකියි. දැනට අපි මාලිංගට අවශ්‍ය ප්‍රතිකාර සියල්ල නිම කරලා තියෙන්නේ. අපි ඔහුට පැවසුවා විවේක ගන්න කියලා. දැන් ඔහුට විවේකය මිස වෙන කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය නෑ" යැයි පවසා සිටියේය.