මම සහ ක්‍රීඩකයන් අතර කිසිම භේදයක් නැහැ
ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු නොවනු ඇති බවත් තමා හා කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර කිසිඳු භේදයක් නැති බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (06දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගය පිළිබඳව අද (05දා) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව්ස් මේ බව පවසා සිටියේය.
මෙහිදී තවදුරටත් අදහසක් දැක්වූ මැතිව්ස්,
“දිනේෂ් චන්දිමාල්ව මෙම තරගාවලියට තෝරාගැනීමට තේරීම් කමිටුව අවධානය යොමු කළේ නැහැ. පළමු තරග දෙකෙන් පසුව චාමර කපුගෙදර, චන්දිමාල් වගේ ක්‍රීඩකයන්ව තෝරාගන්නවා කියලා කිව්වා. එහෙත් අපිට එක පිතිකරුවෙක්ගේ අවශ්‍යතාවක් ඇතිවෙලා තිබුණ නිසා අතිරේකව පිතිකරුවෙක් කණ්ඩායමට ඇතුළත් කළා.
කණ්ඩායම් සංයුතිය ගත්තාම අපිට මැදපෙළට පිතිකරුවෙක් තමයි අවශ්‍ය වෙලා තිබුණේ. ඒ හින්දා එම අවස්ථාව කපුගෙදරට ලැබුණා. චන්දිමාල් දිගටම ක්‍රීඩා කළේ අංක 04 පිතිකරුවා විදිහටයි. නමුත් මේ වනවිට උපුල් තරංග එම ස්ථානයේ හොඳින් ක්‍රීඩා කරනවා. උපුල්ට ඕනෑම තැනක පිතිකරණයේ නියැළෙන්න පුළුවන්. ඒ නිසයි මැදපෙළ පිතිකරුවෙක් හදිසියේම කණ්ඩායමට කැඳෙව්වේ.
චන්දිමාල්වයි, කපුගෙදරවයි සංසන්දනය කරන්න අමාරුයි. ඔවුන් දෙදෙනාගේ පිතිකරණය දෙවිදිහක්. චන්දිමාල් මුල්පෙළේ පිතිකරුවෙක්. කපුගෙදර කියන්නේ අංක පහෙන් පසු පිතිකරණයේ නියැළෙන ක්‍රීඩකයෙක්. බොහෝ වේලාවට කණ්ඩායමේ අවශ්‍යතාව මත තමයි ක්‍රීඩකයන්ව රඳවා ගන්නෙත්, කණ්ඩායමට ගේන්නෙත්.
අපේ සංයුතිය පිතිකරුවන් 07 දෙනා ඇතුළත ආරම්භ පිතිකරුවන්ට හෝ අංක 03 ට මොනවා හරි වුණොත් අපිට උපුල් තරංග ඉන්නවා ආදේශකයන් විදිහට. නමුත් මැදපෙළ ක්‍රීඩකයෙක්ට ආදේශ කරන්න කවුරුවත් හිටියේ නැහැ. ඒ නිසයි කපුගෙදර කණ්ඩායමට ගෙනාවේ.
තරංගට පසුගිය කාලය පුරාම සාර්ථකව ක්‍රීඩා කරන්න එක ස්ථානයක් ලබාදුන්නේ නැහැ. අපේ අවශ්‍යතාව සියලුම දෙනාම එක ස්ථානයක ක්‍රීඩා කරන්න අවස්ථාව ලබාදීමයි. නමුත් කණ්ඩායමේ අවශ්‍යතාව මත තමයි තරංගට එහෙට මෙහෙට යන්න වුණේ.
අපේ කණ්ඩායමේ මම හිතන්නේ නැහැ වෙනසක් සිදුවේවි කියලා. අපි අද තරගයට පෙර තණතිල්ල බලලා තීරණයක් ගන්නවා. මෙම තණ තීරුවේ අවුරුදු 02 ක් විතර ක්‍රීඩා කරලා නැහැ. බොහෝ දුරට මම විශ්වාස කරනවා කණ්ඩායමේ වෙනස්කමක් සිදු නොව්වි කියලා.
සමහර වෙලාවට අපෙන් උඩපන්දු ගිලිහී ගියාම වෛරස් එකක් වගේ ඒක පැතිරීගෙන යනවා. එය පීඩනයත් සමග වෙන්නේ. එහෙත් පීඩනය කියන එක ක්‍රීඩකයන්ට පුරුදු දෙයක්. එය නිදහසට කාරණාවක් නොමෙයි. හැම පුහුණුවකදීම අපි පන්දු රැකීම වැඩිපුර කරනවා. මහන්සි වෙනවා.
කණ්ඩායමෙන් එළියේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මම සහ ක්‍රීඩකයන් අතර කිසිම භේදයක් නැහැ. අපි තරගවලට සහභාගි වෙන්නේ පිටින් එන ඒවා ඔළුවෙන් අයින් කරලයි."
සූරියවැව ණුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

