මට කිසිම තහනමක් නෑ
තමන්ට දේශීය තරග සඳහා මෙතෙක් තරග තහනමක් පනවා නොමැති බවත්, තමන් ක්‍රීඩා කරනුයේ තහනම් උත්තේජක පරීක්ෂණ සිදු නොකරන (NON TESTED) විදෙස් තරගාවලි සඳහා පමණක් වන අතර, එනිසා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ පරීක්ෂණ සඳහා සහභාගි වීමට වුවමනාවක් නෙමැති බවත් ‘ආසියාවේ කළු සිංහයා’ යන විරුදාවලිය ලත් කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ මෙතෙක් ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩකයෙකු ඇමෙරිකාවේදී ලද ඉහළම පිළිගැනීම වූ ‘මිස්ට ඇට්ලස්’ තරගාවලියේ සිවුවැනි ස්ථානය දිනාගැනීම සහ සම්මානයට පාත්‍ර වීම (INSPIRATION AWARD) පිළිබඳ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදීය.
තමන්ට ඉදිරියේදී විදෙස් තරගාවලි 05ක් සඳහා ආරාධනා ලැබී ඇති බවත්, තමන් ඒ සඳහා සහභාගි වනුයේ ජාත්‍යන්තර කායවර්ධන සංගමයේ WBPF යටතේ බවත් ඔහු එහිදී පවසා සිටියේය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුර අදහස් පළ කළ ලූෂන්, 'මට කිසිම තහනමක් නෑ මේ වෙනකොට කායවර්ධන සංගමයෙන්. ඒ බව කායවර්ධන සංගමයේ සභාපතිවරයා සහභාගි වූ රූපවාහිනී වැඩසටහනකදීත් ඔහු පැහැදිලිව පවසා තිබුණා. ඒවගේම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාත් මට මෙම තරගාවලිය (ඇමෙරිකාවේ පැවැති ‘මිස්ට ඇට්ලස්) සඳහා ගොඩාක් සහයෝගය දැක්වුවා. ඔහු අනිවාර්යයෙන් මගේ ජයග්‍රහණය පිළිගන්නවා.
මෙම තරගාවලිය ජාත්‍යන්තරය තුළ තිබෙන ලොකුම සහ නිල වශයෙන් තිබෙන තරගාවලියක්. ඉතින් මම නියෝජනය කළේ මගේ රට, මගේ ජාතික ධජය යටතේ. මට කිසිම තහනමක් අද වනතුරු ක්‍රීඩාව සම්බන්ධයෙන් පැනවිලා නැහැ. මට අද වනතුරු ලංකාවේ හෝ ජාත්‍යන්තරය තුළ ක්‍රීඩා කිරීමට තහනමක් නැහැ. මට කිසිම තහනමක් පිළිබඳව අද වනතුරු මුකුත් දැනගන්න ලැබිලාත් නැහැ.
කායවර්ධන සංගමය නිල වශයෙන් කොහොමද කියන්නේ අඩුම තරමේ මට ඒ පිළිබඳව ලිපියක්වත් දීලා නැතුව.
ඒ වගේම මට විනය පරීක්ෂණයක්වත් තියලා නැහැ, ඔවුන්ට එහෙම කියන්න බැහැ මට තහනමක් පනවලා තිබෙනවා කියලා. අනික මට විනය පරීක්ෂණයක් තියන්න පෙර ඒක මට ලිඛිතව දන්වන්න ඕනේ. එහෙම විනය පරීක්ෂණයකට කායවර්ධන සංගමයෙන් මට කතා කළෙත් නැහැ.
මම ක්‍රීඩා අමාත්‍යාංශයටත් ගියා. එහිදී ක්‍රීඩා ඇමතිතුමා මට සුභාශිංසනත් එකතු කළා. මම ඇමෙරිකාවට යන්න ඉස්සෙල්ලත් ඇමතිතුමා සමග කතා කරලයි ගියේ. ලංකාවේ තරග තහනමක් නැත්නම් ශ්‍රී ලාංකේය ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කරන්න මට පුළුවන්.
ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය කැඳවූ තහනම් උත්තේජක පරීක්ෂණය මම මග හැරියේ නැහැ. කායවර්ධන සංගමයෙන් අපිට දෙයක් වෙන්නේ නැත්නම්, ක්‍රීඩකයන්ට දෙයක් වෙන්නේ නැත්නම් ඇයි අපි සංගමයකින් යන්නේ. පසුගිය අවුරුදු 04 ගත්තාම සංගමයෙන් එක ක්‍රීඩකයෙක්වත් පිටරට තරගාවලියකට යවලා නැහැ. ගිහින් තිබෙන්නේ මමයි, ධනුෂ්ක කියන ක්‍රීඩකයයි විතරයි. අපි කොතනද ඉන්නේ කියන එක අහන්න ඕනේ සංගමයෙන්. අපේ දක්ෂතා පහත් කරගෙන මෙතන තියාගෙන ඉන්නවද? නැත්නම් මගේ දක්ෂතා ලෝකෙට පෙන්නනවද කියලා අපි බැලිය යුතුයි. මගේ තිබෙන්නේ සංගමයට විරුද්ධව යන ගමනක් නෙමෙයි.
තහනම් උත්තේජකවල තරගාවලි සඳහා තිබෙනවා තහනම් උත්තේජක පරීක්ෂණ කරන (TESTED) සහ නොකරන (NON TESTED) යනාදී දෙවර්ගයක්. මම යන්නේ තහනම් උත්තේජක පරීක්ෂණ සිදු නොකරන (NON TESTED) තරගාවලි සඳහායි. එනිසා
ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයට යන්න මට වුවමනාවක් නෑ" යැයි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙහිදී ලූෂන්ට අනුග්‍රාහකත්වය දක්වන 'රියෝකොකෝ' ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ශාන් හැලඹ මහතා පවසා සිටියේ ලුෂන්ගේ ඉදිරි තරගාවලි සඳහාද තම ආයතනය අනුග්‍රාහකත්වය ලබාදීමට සාකච්ඡා කරන බවත්, ලූෂන් තම ආයතනයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස කටයුතු කරන බවත්ය.
ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




