බ්‍රසීලයේ රියෝහි මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සිය අවසන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වනු ඇතැයි ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් තහවුරු කොට ඇත.විදෙස් මාධ්‍ය වෙත මේ බව දන්වමින් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත්තේ, ඔලිම්පික් තරගාවලියකට සූදානම් වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි.
"ඒකට අභිප්‍රේරණයක් (Motivation) අවශ්‍යයි. මෙවර තරගාවලියේදී මගේ ඉලක්කය සඳහා ඒක මට තිබෙනවා කොහොමත් මෙවර තරගාවලිය, අනිවාර්යයෙන්ම මගේ අවසන් ඔලිම්පික් තරගාවලිය වෙයි" හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
29 හැවිරිදි බෝල්ට් පසුගිය 2008 හා 2012 ඔලිම්පික් තරගාවලිහිදී කෙටිදුර ධාවන ඉසව් සිය ආධිපත්‍යයට නතු කරගත්තේ රන් පදක්කම් 06 ක් සමගිනි. වත්මන් මීටර් 100 (තත්. 9.58) හා 200 (තත් 19.19) ඉසව්වලින් ලොව වේගවත්ම කාලය වාර්තා කළ හෙතෙම අන්තර්ජාතික තරගවලදී දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 19 කි. එයට ලෝක ශූරතා තරගාවලිහිදී ලබාගත් රන් පදක්කම් 6 ක් හා රිදී පදක්කම් දෙකක්ද අන්තර්ගතය.
කෙසේ වෙතත් මෙවර තරගාවලියේදීද කෙටි දුර ධාවන රන් පදක්කම් ත්‍රිත්වයක් (මීටර් 100, 200 හා 100x4) ඔහු විසින් ගෙන යනු ඇතැයි බොහෝදෙනාගේ විශ්වාසයයි. නමුත් තමන් ඉදිරියේදී ක්‍රීඩාවෙන් සමුගන්නා නිශ්චිත දිනයක් පිළිබඳව බෝල්ට් මෙහිදී පවසා නොමැති වුවත් බොහෝ විට එය එළඹෙන (2017) වර්ෂයේ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය වනු ඇති බව විදෙස් වාර්තා මගින් දැක්වේ.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ පිටියෙන් ඉවත් වීමට ප්‍රථම මීටර් 200 ඉසව්වට නව අරුතක් ලබාදීම සිය අරමුණ බවයි. "මීටර් 200 ඉසව්වට දැනට වාර්තා කොට තිබෙන හොඳම කාලපරාසය වන තත්පර 19 සීමාව අබිබවා යාම තමයි මගේ ප්‍රධාන අරමුණ" බෝල්ට් පවසයි.