තම ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට බංග්ලාදේශ කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියක් පරාජයවීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (21දා) රාත්රියේදී සිදුවිය. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් බංග්ලාදේශයේ මීර්පූර්හි පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
ඉන්දියාවට එරෙහිව ඔවුන් ලැබූ පස්වැනි එක්දින තරග ජයග්‍රණය මෙය වන අතර, මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත තරගාවලියේ තරග 2-0 ක් ලෙස පෙරමුණගැනීමට ඔවුන්ට හැකිවිය.
මෙම ජයග්‍රහණය බංග්ලාදේශ කණ්ඩායම සිය මවුබිමේදී නොකඩවා ලැබූ 10 වැනි එක්දින ජයග්‍රහණය වන අතර, මීට පෙර සිම්බාබ්වේ (5-0), පාකිස්තානය (3-0) හා ඉන්දියාව (2-0 මේ දක්වා) ඔවුන් විසින් පරාජය කර ඇත.
ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 45 කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 200 ක් පමණි. බංග්ලාදේශය ඉදිරියේ ඉන්දීය කණ්ඩායමක් ලකුණු 200කට අඩුවෙන් දැවීගිය තෙවැනි අවස්ථා මෙය වේ. මෙම ඉනිමේ 43 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් තිබියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ හෙයින් තරගය පන්දුවාර 47 කට සීමාකෙරිණි.
තම දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකළ මුස්තාෆිසුර් රෙහමාන් මෙම තරගයෙදීද කඩුලු 06 ක් (6/43) බිඳහෙළමින් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය. ඒ අනුව ඔහු මේ දක්වා තරග දෙකකදී කඩුලු 11 ක් (පළමු තරගය 5/50) බිඳහෙලා ඇත. එක්දින තරග ඉතිහාසයේ පළමු තරග දෙකේදී එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු පන්දු යවන්නා ලෙස ඔහු මේ වනවිට ක්‍රිකට් වාර්තා අතරට එක්ව ඇත.
බංග්ලාදේශ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 47කදී ලකුණු 200 ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය තරගයේ 38 වැනි පන්දුවාරයේදී පසුකර යාමට ඔවුන් සමත්විය. තරගයේ වීරයා ලෙස මුස්තාෆිසුර් රෙහමාන් සම්මාන දිනාගත්තේය.
ඉන්දියාව 200/10 (පන්දුවාර 45)
ශිකර් දවාන් 53 (60), එම්.එස්. දෝනි 47 (75), සුරේෂ් රෙයිනා 34 (55), විරාට් කෝලි 23 (27), රවින්ද්‍ර ජඩේජා 19 (26), මුස්තාෆිසුර් රෙහහාමාන් 6/43 (10), නසීර් හුසේන් 2/33 (10), රුබෙල් හුසේන් 2/26 (7)
බංග්ලාදේශය 200/4 (පන්දුවාර 38)
ශකීබ් අල් හසන් නොදැවී 51 (62), ලින්ටන් දාස් 36 (41), සෞම්‍ය සර්කාර් 34 (47), සුෂ්ෆිකර් රහිම් 31 (34), සබීර් රෙහමාන් නොදැවී 22 (23), ධවාල් කුල්කාර්නි 1/42 (7), ආර්. අශ්වින් 1/32 (10), අක්සාර් පටෙල් 1/48 (7)