2008 වසරේ බීජින් ඔලිම්පික් තරගාවලියට සාපේක්ෂව සිංගප්පූරුවේ පැවැති පුහුණු සැසියකදී සිංගප්පූරුවේ ළමයෙකු සිය පිහිනුම් වීරයා වූ මයිකල් පෙල්ප්ස් හා ඡායාරූපයකට පෙනී සිටීමට ඉල්ලීය. එම ඉල්ලීම පිළිගත් පෙල්ප්ස් එය ඉටුකළේය. නමුත් එදා 14 වැනි විය ඉක්මවා සිටි මෙම ළමයා අතින් පිහිනුම් තටාකයේදී පැරදෙනු ඇතැයි කිසි දිනක එදා පෙල්ප්ස් නොසිතන්නට ඇති.
නමුත් පෙල්පස් නොසිතූ දෙය දැන් සිදුවී හමාරය. එදා 14 වැනි වියේ සිටි සංගප්පූරුවේ ජොශප් ස්කූලින් දැන් 21 හැවැරිදි ගැටවරයෙකි. සිය පිහිනුම් දිවියේ වීරයා හා ස්කූලිංට තරග කිරීමට සිදුවූයේ ලෝකයේ අසිරිමත්ම ක්‍රීඩා උළෙල වෙන ඔලිම්පික් තරගාවලියේදීය.
පෙල්ප්ස් හා ස්කූලින් 2008 වසරේදී ලබාගත් ඡායාරූපය
එහිදී මීටර් 100 සමනළ ආර ඉසව්වට තරග කළ ස්කූලින්, පෙල්ප්ස් පරදා එම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර එය සිංගප්පූරු ජාතිකයෙකු සිංගප්පූරුව වෙනුවෙන් හිමිකරගත් පළමු රන් පදක්කම ලෙසින්ද ඉතිහාසයට එක්විය.
ස්කූලින් සිය ඉසව්ව ජයගත්තේ තත්පර 50.39කින් වෙන අතර එය ඔලිම්පික් වාර්තාවක්ද වෙයි. 2008 වසරේදී ස්කූලිං හමුවීමෙන් පසුව පෙල්ප්ස් ඔහුට ඇමෙරිකාවට පැමිණ පිහිනුම් ක්‍රීඩාව ඉගෙනීම සඳහා අවශ්‍ය මැදිහත්වීමද සිදුකරනු ලැබීය.
මේ වන විට ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදුකරන ස්කූලින්ගේ මව වන මේ, 2013 වසරේදී පවසා තිබුණේ සිය පුතා රියෝ ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා කරනු ඇති බවයි. නමුත් ඇය එදා සිය පුතා මෙවැනි පදක්කමක් ලබාගනු ඇතැයි විශ්වාස නොකළාය.
ස්කූලින් සිය මව සමග
“ 2016දී ඔහු අනිවාර්යයෙන්ම අන්තිමයා වේවි.ඔහු එහිදී මොකක් හො පදක්කමක් ලබාගත්තොත් එය හොඳයි” යැයි මේ පවසා තිබුණාය.
තරගයෙන් පසුව මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පෙල්පස් පැවැසුවේ “මම ජෝ ගැන ආඩම්බර වෙනවා. මේ වගේ පිහිනුම් ක්‍රීඩකයෙක් දකාවා ඔහු වර්ධනය වීම ගැන බලාගන්න මට පුළුවන් වුණා.” යනුවෙනි.
සිය වීරයා පිළිබඳව අදහස් දක්වන ස්කූලින් පවසන්නේ “මට පිහිනුම් ක්‍රීඩකයෙක් වෙන්න හේතුව වුණේ ඔහුයි” යනුවෙනි.
පෙල්පස් ස්කූලින්ට සුබ පැතූ අවස්ථාව
තරගයෙන් අනතුරුව පෙල්ප්ස් ඉක්මනින්ම ස්කූලින්වෙත පැමිණ සුබ පැතීමට කටයුතු කරනු ලැබීය.
සිංගප්පූරුව වෙනුවෙන් රන් පදක්කම හිමිකර ගැනීම වෙනුවෙන් ස්කූලින්ට එරට රජයෙන් රුපියල් මිලියන 110ට අධික මුදලක්ද ලැබෙනු ඇත.
ඊයේ (13දා) පැවැති පිහුනුම් තරග පෙල්ප්ස්ගේ අවසන් ඔලිම්පික් තරග වූ අතර ඉන් පසුව ඔහු පිහිනුම් ක්‍රීඩාවෙන් විශාම ගත්තේය. සිය ඔලිම්පික් ක්‍රීඩා දිවිය පෙල්ප්ස් අවසන් කළේ රන් පදක්කම් 23ක් සමගින් සමස්ත පදක්කම් 28ක් හිමිකර ගනිමිනි.