තමාට පුහුණුකරු සමග කිසිම ගැටලුවක් නොමැති බවත් කිසියම් වූ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ නීතිය කඩකර ඇත්නම් ඔහුට කිසිම සමාවක් නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. එසේම නවසීලන්ත තරගාවලිය පරාජය වීම පුහුණුකරුගේ වැරැද්දක් නොවන බවත්, කණ්ඩායම ක්‍රීඩා කරපු විලාසයේ වැරැද්දක් තිබෙන බවත් ඔහු පැවසීය.
මැතිව්ස් එසේ පැවසුවේ, අද (13දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති නවසීලන්ත සංචාරය පිළිබඳව මාධ්‍ය හමුවේදීය.
"මට ගොඩක් දේවල් අහන්න ලැබුණා. මම ඔහුත් (පුහුණුකරු) සමග හොඳ සබඳතාවක් පවත්වනවා. අපි අතර ගැටුම් ඇති වුණේ නෑ. මේක පුහුණුකරුගේ වැරැද්දක් නෙමෙයි. කණ්ඩායම ක්‍රීඩා කරපු විලාසයේයි වැරැද්ද තිබුණේ.
පසුගිය කාලසීමාවේදී සමහර අය කණ්ඩායම් නීතිය නොසලකා හැර කටයුතු කර තිබෙනවා. කළමනාකරු ඒ ගැන බලාගනීවි. මොකක් හරි ගැටලුවක් වෙලා තියෙනවා නම් ඔහුට එරෙහිව ඒ අවස්ථාවේම කටයුතු කළ යුතුයි. ඒ අයට කිසිම සමාවක් නෑ. තරගාවලියක් පැරදුනාම විවිධ චෝදනා එනවා. අපි කවදාවත් පරාජය වෙන්න ක්‍රීඩා කරන්නෙ නෑ. මේ අත්දැකීම්වලින් ශක්තිමත් වෙලා ඉදිරි තරගවලදී දක්ෂතා දක්වන්න බලාපොරොත්තුවෙනවා." යැයි මැතිව්ස් පැවසීය.
තරගාවලියේදී කණ්ඩායම හොඳින් පුහුණුවීම් කළද සිය සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක නොවුණ බවත් දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ හා කුසල් මෙන්ඩිස් හොඳින් දක්ෂතා දැක්වූ බවත් ඔහු පවසා සිටියේය. නමුත් තිසර පෙරේරාගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා නොලැබුණ බවත් කුසල් පෙරේරා කණ්ඩායමේ නොමැති වීම පාඩුවක් බවද ඔහු සඳහන් කළේය.
"කොහොම වුණත් ඒක අපිට අමාරු තරගාවලියක්. නමුත් අපිට අවස්ථා තිබුණා. අපි අතින් වැරදි වුණා. අපි කනගාටුවෙනවා. අපි හොඳින් ක්‍රීඩා කළේ නෑ. අපිට කරන්න පුළුවන් හැමදේම එහිදී කළා. පුහුණුවීම්, සැලසුම් හොඳින් කළා. නමුත් ඒවා වැඩ කළේ නෑ. චන්දිමාල් හා දුෂ්මන්ත චමීර හොඳින් දක්ෂතා දැක්වුවා. වැන්ඩසේ හොඳින් පන්දු යැව්වා. කුසල් මෙන්ඩිස් වගේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් අපිට ඉන්නවා.
මෑත කාලෙදී තිසර පෙරේරාගෙන් බලාපොරොත්තු වුණ දේ ලැබුණේ නෑ. ඔහු වැදගත් ක්‍රීඩකයෙක්. සමහර අවස්ථාවලදී ක්‍රීඩකයන්ට අමාරු තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. ඔහු ඉතාමත් හොඳින් පුහුණුවීම් කරනවා. ඔහු ඉක්මනින් පරණ තත්ත්වයට එයි.
අවස්ථාවන් අනුව ක්‍රීඩා කිරීමට තමයි කණ්ඩායමට නොහැකි වුණේ. කාලයක් තිස්සෙ මේ දේ වෙනවා. ඔවුන් ඉදිරියට ඉගෙන ගනීවි. මේ කණ්ඩායම හුඟක් ළාබාල නිසා අඩුපාඩු හොඳට පේනවා.
කුසල්ට මොකක්ද වුණේ කියලා අපි දන්නෙ නෑ. ඔහු කණ්ඩායමට නැති වීම පාඩුවක්. ඕනෑම තත්ත්වයක හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. මම විශ්වාස කරනවා ඔහුට ඉතාමත් ඉක්මනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එයි කියලා." යැයි මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.
ඒ වාර්තා ප්‍රතික්ෂේප කරන්නේ නෑ - කණ්ඩායම් කළමනාකරු ජෙෆ්රි වවුටර්ස්
තරගාවලියේදී ඇතිවායැයි කියන ගැටලු පිළිබඳව මාධ්‍ය වාර්තා කළ කරුණු ප්‍රතික්ෂේප නොකරන නමුත් ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ නොකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ජෙෆ්රි වව්ටර්ස් මහතා පැවැසීය. ඒ පිළිබඳව ඉතාමත් ඉක්නමනින් වාර්තාවක් සකස්කර ක්‍රීඩා ඇමතිවරයාට හා ක්‍රිකට් ආයතනයට ලබාදෙන බවත් ඔහු පැවැසීය. තරග දිනාගැනීමේ හැකියාවක් කණ්ඩායමට තිබුණ බවත් කණ්ඩායමේ මැදපෙළ ප්‍රශ්නයක් තිබුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අවසන් 15 දෙනා කවුද කියලත් තවම නෑ - කණ්ඩායම් පුහුණුකරු ජෙරෝම් ජයරත්න
"සමහර තැන්වල අපේ ක්‍රීඩකයන් තවම ඉස්මතු වෙලා නෑ.අවසන් 15 දෙනා කවුද කියලත් තවම නෑ. මේක තේරුම් කමිටුවත් එක්ක සාකච්ඡා කරන්න ඕන. අපි හොඳ සම්බන්ධය හදාගන්න ඕන. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදාගන්න ඕන. සංචාරය අභියෝගයක් ලෙස ගෙන ඉදිරියට සටන් කරන්න ඕන. අපි ඕනකමින් පැරදුනේ නෑ. අපි හොඳ කණ්ඩායමක් එක්ක සෙල්ලම් කළේ.
ඒ රටවල ක්‍රීඩකයන් ජාත්‍යන්තරට ආවට පස්සේ ක්‍රීඩාව ඉගෙන ගන්න බෑ. කාලවකවානුවත්, පළපුරුද්දත් එක්ක එයා හොඳ වෙන්න ඕන. මේක ඇවිල්ලා දක්ෂතා දැක්වීම මත තිබෙන දෙයක්. මෙතනට කවුරු ආවත් දක්ෂතා දක්වන්න ඕන. ඉගෙන ගන්න බෑ. ඒ රටවල දේශීය ක්‍රිකට් කොහොම තත්ත්වයක තිබෙනවද කිවුවොත් 80%ක් පමණ ඔවුන්ට ජාත්‍යන්තරයට ඇවිත් දක්ෂතා දක්වන්න පුළුවන්. අපි කොච්චර පුහුණුවීම් ගැන කතා කළත් ළමයාගේ දක්ෂතාව එන්නේ රටේ තියෙන ක්‍රිකට් අනුවයි. අපේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ශක්තිය මදි. ජාත්‍යන්තර තත්ත්වයයි අපේ දේශීය ක්‍රීඩාවයි අතර ලොකු පරතරයක් තිබෙනවා. මේක අඩුකරපු දවසට අපිට හොඳ තැනක් එයි.ඔවුන්ගේ දේශීය ක්‍රිකට් වෘත්තීමය තත්ත්වයක් තිබෙනවා."
පරාජයවීම ගැන කනගාටුයි - විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල්
"අපිට අවුරුදු දෙකක් විතර අංක එකේ හිටියේ. අපි සියලුදෙනාටම ඕන වුණේ ඒ තැන තියාගන්න. අපි කණ්ඩායමක් ලෙස පළමු තරගය හොඳින් ක්‍රීඩා කළා. නමුත් දෙවැනි තරගයේදී අපිට හොඳින් එන්න බැරිවුණා. තරගාවලිය පරාජයවීම ගැන කනගාටුවෙනවා. අපි ඊළඟ තරගයේ සිට ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා."
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු