පිටිය මැදදී සැලසුම් අත්හැරෙනවා
ශ්‍රී ලංකා කණ්ඩායමේ වැරදි හේතුවෙන් පස්වැනි තරගයත් පරාජය වීමට සිදුවූ බවත්, ටෙස්ට් තරගයට වඩා හොඳින් මුහුණදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. ඔහු මේ බව පැවසුවේ, අද (10දා) පැවැති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පස්වැනි තරගය පරාජය වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"මේ පාරජය කණ්ඩායමක් විදියට දරාගන්න අමාරුයි. ඇත්තටම අපි අපේ වැරදි නිසා තමයි මේ තරගයත් පරාජය වුණේ. නමුත් අපි ඉදිරියේ එන ටෙස්ට් තරගයට මීට වඩා හොඳට මුහුණදී, අනිවාර්යයෙන්ම ඒ තරගය ජයගන්න ඕන.
පසුගිය සතිය පුරාවටම සෙල්ලම් කරනකොට තියෙන අඩුපාඩු ගැන තමයි දිගින් දිගටම කතා කළේ. මේ තරගාවලියේදී අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ. තරගාවලිය පුරා පිතිකරණ අංශය හොඳින් ක්‍රීඩාකළත්, මේ තරගයේදී එය හොඳින් සිදුවුණේ නැහැ. තරගයේ පළමු භාගයේදී තණතිල්ලේ යම් දඟකැවීමක් සිදුවුණා. නමුත් ලකුණු 203ක් වගේ සංඛ්‍යාවකින් සෑහීමකට පත්වෙන්න බෑ. ඔවුන් ඉතා හොඳට ක්‍රීඩා කරනවා.
ඇත්තටම අපේ ගොඩක් අඩුපාඩු තියෙනවා. විවිධ අංශවලින් දුර්වලතා තියෙනවා, කණ්ඩායමක් විදියට හදාගන්න. ඉදිරියේදී ඉන්දියානු තරගාවලිය එනවා. ඔවුනුත් එක්ක ලොකු තරගයක් තියෙනවා. ඒ තරගයට යන්න කලින් මේ තියෙන කෙටි කාලය තුළ අපි අපේ අඩුපාඩු හා දුර්වලතා හදාගත යුතුයි.
කණ්ඩායමක් විදියට අපි නිතරම පුහුණුවීම් කරනවා. හැමදේම සැලසුම් කරනවා. නමුත් අවාසනාවකට වගේ පිටිය මැදට ගිහින් මේවා අතහැරෙන එක තමයි ගැටලුව. ඉන්දියානු සංචාරයට පෙර අපට ඉතාමත් කෙටි කාලයක් තියෙන්නේ අපේ මේ වැරදි ටික හදාගන්න.
තේරීම් කමිටුවේ අදහස තිබුණෙ ලසිත් මාලිංගත් සමග තව නවක පන්දු යවන්නන් දෙදෙනෙකු ඉදිරියට හදාගන්න. අපට අවස්ථාවක් තිබුණා මාලිංගවත් විවේක ගන්වන්න" යැයි පැවසීය.
සූරියවැව ණුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

