බංග්ලාදේශයේ ඩකාහි පැවැති දකුණු ආසියානු වයස 18 පහළ බාලක පැසිපන්දු ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02දා) සමත් විය.
මෙම තරගාවලියට දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල් සහභාගි නොවුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක බංග්ලාදේශය, ඉන්දියාව හා නේපාලය සහභාගි විය.
තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් නේපාලය හමුවේ ලකුණු 65 -64 ක් ලෙස පරාජය වූ අතර, දෙවැනි තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 121 - 52 ක් ලෙස දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදුවිය. ජයගත් එකම තරගය වූ බංග්ලාදේශයට එරෙහිව තරගයෙන් ලකුණු 64 -60 ක් ලෙස ජය ලැබීය. තරග දෙකක් පරාජය වූ හෙයින් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 12 දෙනෙකු හා නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා සහභාගි වූහ.
මෙම තරගාවලියේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර, රිදී පදක්කම නේපාලයට හිමිවිය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස 18 පහළ ආසියානු පැසිපන්දු තරගාවලියට දකුණු ආසියානු කලාපයෙන් තේරීමේ තරගයක් ලෙස මෙම තරගාවලිය පැවැති අතර, ඒ අනුව ශූරතාව දිනාගත් ඉන්දියාව පමණක් ඒ සඳහා සුදුසුකම් ලැබීය.
තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම
එස්.ඊ.ජේ. පෙරේරා (ශා. තෝමස් විදුහල, ගල්කිස්ස), එස්.ඒ. ශිවන්ග වී.වී. ද සිල්වා (ශා. ජෝශප් විදුහල, කොළඹ), උවිඳු කුෂ්මික කාරියවසම් (ශා. පීතර විදුහල, බම්බලපිටිය), තහීර් අක්බාරෙලි (ආසියානු ජාත්‍යන්තර පාසල), නිමේෂ් ශාලින්ද්‍ර කුලතුංග (ලයිසියම් ජාත්‍යන්තර පාසල), ඒ.එස්. ගුණවර්ධන (ගල්කිස්ස ශා. තෝමස් විදුහල), ඒ.එම්.එස්.ආර්. බණ්ඩාර අතපත්තු (රාජකීය විදුහල, කොළඹ), ආනල්ඩ් බ්‍රෙන්ට් තෙවකුමාර් (ආසියානු ජාත්‍යන්තර පාසල), එම්.ඩී. රෙහාන් පෙරේරා (ලයිසියම් ජාත්‍යන්තර පාසල), ඩී. චරිත් එන්. මාතරගේ (රෝයල් ජාත්‍යන්තර පාසල), ඩබ්. ශානුක ද අල්විස් (මාරිස්ටෙලා විදුහල, මීගමුව), ඒ.ජී. දිල්රුක් එස්. මෛත්‍රී (ආනන්ද විදුහල, කොළඹ)
නිලධාරීන්
තරිඳු ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), නෙරියස් ස්ටැන්ලි (සහය පුහුණුකරු), සනත් ජයලත් (මෙහෙයුම් ප්‍රධානී), නොයෙල් කුරේ (කළමනාකරු), කේ.ඩී. ගයාන් බුද්ධික (තරග තීරක)