ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ.අයි.ඒ. රක්ෂණ සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27 දා ආරම්භවීමට නියමිත අතර, එය දෙසැම්බර් මස 30ද දක්වා පැවැත්වේ.
තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (18 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විය.
තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්ත සංචාරයකට නිරත හෙයින් එය තරගාවලියට බලපෑමක් ඇති නොකරන්නේද යනුවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා පැවැසුවේ තරගාවලියට අවශ්‍ය පළමු පෙළ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ සිටින බවයි.
"නවසීලන්තයට ප්‍රථමයෙන්ම යන්නෙ ටෙස්ට් කණ්ඩායම. සමහර ක්‍රීඩකයන් අඩුවෙන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඇතිවෙන්න පළමු පෙළ ක්‍රීඩකයන් ඉන්නවා. පළමු පෙළ ක්‍රිකට් කියන්නෙ අපේ පිට කොඳුනාරටිය. ඉස්සරහ ඉන්න ක්‍රීඩකයන් අඩු වුණාම හොඳකුත් වෙනවා. මොකද යටින් ඉන්න ක්‍රීඩකයන්ට එතකොට අවස්ථාවක් ලැබෙනවා" යැයි ඔහු පැවැසීය.
තරගාවලියේ අවසන් පූර්ව තරග හා අවසන් තරග සජීවීව විකාශය කිරීමට නියමිත අතර, එය පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව මේ දක්වා තීරණයක් ගෙන නොමැත.
ඒ හා බී යනුවෙන් කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් හතක් ඇතුළත් වෙයි.
ඒ කාණ්ඩය - කෝල්ට්ස්, රාගම, එන්.සී.සී, කොළඹ, වරාය අධිකාරි, සැරසන්ස්, ද්‍රවිඩ සංගම්
බී කාණ්ඩය - එස්.එස්.සී, මුවර්ස්, යුද හමුදා, බ්ලූම්ෆීල්ඩ්, බඳුරලිය, හලාවත, ගාල්ල
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ