තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අද (09දා) එංගලන්තයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඇරඹේ. තරගාවලියේ මේ දක්වා පැවැති තරග දෙකෙහිදීම පහසු ජයක් හිමිකරගත් එංගලන්තය මේ වනවිටත් තරගාවලියේ ජය හිමිකරගෙන සිටියි. එහෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ ගෞරවය රැක ගැනීමට සටනක් දීම පමණි. ඒ සඳහා අද ආරම්භ වන තරගය ජයග්‍රහණයකින් හෝ ජය පැරදුමෙන් තොරව හෝ අවසන් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ.
1984 සිට 2014 දක්වා කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් තරග 7කට මුහුණදී ඇති අතර, ඉන් තරග දෙකක් පරාජයට පත්වී ඇති අතර, ඉතිරි තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත්ව ඇත. තවද 1991 තරග සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස්හි මේ දක්වා ටෙස්ට් තරගයක් පරාජයට පත්වී නොමැත.
එහෙයින් තරග වාර්තා දෙස අවධානය යොමු කිරීමේදී ලෝඩ්ස් පිටිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකර පිටියක් බව පෙනෙන්නට තිබේ. එහෙත් ඒ සියල්ලම රඳා පවතින්නේ ඒ ඒ දිනයේ දී ක්‍රීඩකයන් ඉදිරිපත් කරන දක්ෂතා මතය.2014 තරග සංචාරයේ පළමු තරගය වූ ලෝඩ්ස් තරගයේදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කළ අන්දමෙන්, නැවත වරක් මෙම ක්‍රීඩාංගණයේදී සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට සමත් වුවහොත්, එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියකි. තවද එය පළමු ඉනිමේදී සිදු කරන්නට මැතිව්ස්ට හැකියාව ලැබුණහොත්, තරගය ජය පැරදුමෙන් අවසන් කරගැනීමේ පළමු පියවර තබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත.
ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය පැරදුමෙන් තොරව හෝ ජයග්‍රහණයකින් අවසන් කරගැනීමට පළමු ඉනිමේදී ඉදිරිපත් කරන දක්ෂතා බෙහෙවින් ඉවහල් වන බැවින්, මෙම තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වැඩි දක්ෂතාවන් අපේක්ෂා කරන්නෙමු. පළමු ඉනිමේදී අවම වශයෙන් ලකුණු 350 සීමාවත් පසු කිරීමට හැකියාව ලැබුණහොත් එය සෑහීමකට පත්විය හැකි ලකුණු සංඛ්‍යාවකි. එසේ නොවන්නට තෙවැනි තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට හසුවීම වැළැක්විය නොහැකිය.
ලෝඩ්ස් තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් බැවින් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට උත්සාහ කළ යුතුය. විශේෂයෙන්ම දිමුත් කරුණාරත්නට අද තරගය ඉතාමත් තීරණාත්මක තරගයකි. දිමුත් මේ දක්වා ආරම්භක පිතිකරු ලෙසින් සාර්ථක නොවූ බැවින් තෙවැනි තරගයේ දී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීම ඔහුට වඩාත් හිතකරය. කෙසේ වෙතත් අද තරගයේදී දිමුත් කරුණාරත්නගේ ස්ථානය වෙනසක් වීමට අවස්ථාවක් නැතුවාම නොවේ. එහෙත් ළහිරු තිරිමාන්නට අවස්ථා පිට අවස්ථා ලැබෙන පරිදි දිමුත්ටත් අවස්ථාව හිමිවිය යුතුය. එහෙයින් අද තරගයේදීද දිමුත්ට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව අප විශ්වාස කරන්නෙමු.
ශ්‍රී ලංකා තේරීම් කමිටුව සහ කණ්ඩායම් නායක මැතිව්ස්, දිගින් දිගටම අසාර්ථක වන ළහිරුට අවස්ථාව ලබාදෙන්නේ ඔහු නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ නොහැකි යැයි සිතනා නිසා විය යුතුය. පුහුණුවීම්වලදී ඉතා සාර්ථකව පන්දුවට පහර දුන්නද, තරගවලදී දිගින් දිගට අසාර්ථක වන්නේ නම් එවැනි ක්‍රීඩකයන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කළ යුතු යැයි තේරීම් කමිටුව මෙන්ම නායක මැතිව්ස් නොසිතන්නේ මන්දැයි ගැටලුවකි.
කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්ව සිටිනා බැවින් සහ ළහිරු දිගින් දිගටම අසාර්ථක බැවින් ළහිරුගේ ස්ථානයට කුසල්ව ආදේශ කරන්නට තේරීම් කමිටුවට සහ නායක මැතිව්ස්ට දැන් අවස්ථාව හිමිව ඇත. කුසල් තවමත් එරට තණතීරුවලට සහ දේශගුණයට අනුගතව නොමැතිනම් නිරෝෂන් දික්වැල්ල, ළහිරු වෙනුවට ආදේශ කළ හැකිය.
එහෙත් නායක මැතිව්ස්ගේ මෙන්ම, තේරීම් කමිටුවේද ඉතා ඉහළ විශ්වාසයක් හිමිකරගෙන සිටින ළහිරුට අද තරගයේද ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැතුවාම නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් පිටියේදී අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රංගන හේරත්, ශමින්ද එරංග සහ නුවන් ප්‍රදීප් පන්දු යවන්නන් ලෙස මෙවරද කණ්ඩායම සමගින් සිටින බැවින් අද තරගයේදී එය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් වාසියක් අත්කරදෙන තත්ත්වයකි. ශමින්ද එරංග එම තරගයේදී කඩුලු 6ක් දවාගත් අතර, රංගන කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.
තවද නුවන් ප්‍රදීප් පළමු ඉනිමේදී කඩුලු හතරක් බිඳ හෙළීය. ශමින්දගේ පන්දු යැවීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් පැන නැගී තිබුණද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බැවින් අද තරගයට ඔහු ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්ය. කෙසේ වෙතත් නවක වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද බණ්ඩාර සම්බන්ධයෙන්ද තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බැවින් ඔහු අද තරගයට ක්‍රීඩා කිරීමට යම් අවස්ථාවක් පවතී. එහෙත් සුරංග, ශමින්ද සහ නුවන් යන වේගපන්දු යවන්නන් තිදෙනාම අද තරගයට ක්‍රීඩා කළ යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු.
මෙවර තරගාවලියේදී මේ දක්වා ශතකයක් වාර්තා කර ගැනීමට නොහැකි වූ ජෝ රූට්, ඒ සඳහා අද තරගයේ දී අවස්ථාවක් උදාකර ගැනීමට දැඩි උත්සාහයක නිරත වනු ඇත. 2014 තරගාවලියේ දී ජෝ රූට් ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක්ද වාර්තා කිරීමට සමත් විය. එහෙයින් ලෝඩ්ස් පිටිය රූට්ට සුන්දර මතක සටහන් සහිත පිටියකි. එය ඔහුට මෙන්ම එංගලන්ත කණ්ඩායමටද වාසියකි. කෙසේ වෙතත් මේ දක්වා සාර්ථකත්වයක් අත්කර ගැනීමට අවස්ථාවක් නොලැබූ එංගලන්ත නායක කුක්ද අද තරගයේදී සිය අභිමානය වෙනුවෙන් දිගු ඉනිමක නිරතවීමේ උත්සාහයක නිරත වනු නොඅනුමානය. එබැවින් රූට් මෙන්ම කුක්ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරනු නිසැකය.
කෙසේ වෙතත් ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවට් බ්‍රොඩ් සහ මොයින් අලිගෙන් එල්ලවන පීඩනයේ ප්‍රමාණය මත තෙවැනි තරගයේ තීරණය තීන්දු වනු ඇත.
අවසන් වූ තරග දෙකම ජයග්‍රහණය කළ බැවින් එංගලන්ත කණ්ඩායමේ ලොකු වෙනසක් අපේක්ෂා කළ නොහැකි වුවද, නවක ක්‍රීඩකයෙකුට අවස්ථාවක් ලබාදීමට එංගලන්ත කණ්ඩායමට දැන් අවස්ථාව උදාව ඇත. එහෙත් එංගලන්තය සිය සුපුරුදු කණ්ඩායම සමගින් තෙවැනි තරගයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කළ හැකිය.