පන්දුව තරමක් තෙත්ව තිබීම හේතුවෙන් පන්දු යවන්නන්ට ඔවුන්ගේ වගකීම් හොඳින් ඉටුකිරීමට නොහැකිවූ බවත්, නමුත් එය පරාජයේ වගකීමෙන් බැහැර වෙන්න කාරණයක් නොවන බවත්, විශේෂයෙන් නැවතත් කණ්ඩායමේ පන්දු යැවීම හා පන්දු රැකීම දුර්වල මට්ටමක පැවැති බවත් ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර සූරියවැවදී පෙරේදා (03දා) අවසන් වූ තුන්වැනි එක්දින තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව්ස් මෙම අදහස් පළකළේය.
මෙහිදී අදහස් දැක්වූ මැතිව්ස්, "ලකුණු 235ක් කියන්නේ තරගයක් ලබාදිය හැකි හොඳ ලකුණු සංඛ්‍යාවක්. නමුත් පන්දුව තරමක් තෙත්ව තිබුණා. එමනිසා පන්දු යවන්නන්ට ඔවුන්ගේ ඉලක්කයට අනුව පන්දු යැවීමට නොහැකි වුණා. නමුත් එය පරාජයේ වගකීමෙන් මිදෙන්න නිදහසට කාරණයක් නෙමෙයි. නැවතත් මෙම තරගයේදී පන්දු රැකීම හා පන්දු යැවීම හොඳින් සිදුවුණේ නැහැ.
ධම්මික ප්‍රසාද් යොමුකළ 31 වැනි පන්දුවාරයේදී ලකුණු 21ක් අපෙන් ගිලිහී ගියා. ඒ ගැන කියන්න කනගාටුයි. නමුත් ධම්මිකටත්, විශේෂයෙන් දඟ පන්දු යවන්නන්ටත් පන්දුව තෙත්ව තිබුණු නිසා අල්ල ගැනීමට අපහසු වුණා. එය තරගයට යම් බලපෑමක් වුණා."
රංගන හේරත් හා අජන්ත මෙන්ඩිස් යනු තමන්ට සිටින විශ්වාසවන්තම දඟපන්දු යවන්නන් දෙදෙනා බව මැතිව්ස් මෙහිදී පවසා සිටියේය. ජීවන් මෙන්ඩිස්ට වැඩි අවස්ථාවක් ලබානොදුන්නේ මන්දැයි නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
"රංගන හේරත් මෙන්ම අජන්ත මෙන්ඩිස් තමයි අපට ඉන්න අත්දැකීම් බහුලම දඟපන්දු යවන්නන් දෙදෙනා. පසුගිය තරගවලදීත් ඔවුන් තමයි දක්ෂතා දැක්වූයේ. එමනිසා ඔවුන් දෙදෙනා වැඩි වශයෙන් යොදාගත්තා. නමුත් මෙම තරගයේදී එය සාර්ථක වුණේ නැහැ. එනිසා ඉදිරි තරගවලදී මේ පිළිබඳව සලකා බලනවා.
"වැස්ස කොයි වෙලාවේ කොයි මෙහොතෙ එනවද කියල අපට කියන්න බැහැ. මේ තණතිල්ලට අනුවයි කණ්ඩායම නම් කළේ. විශේෂයෙන් සූරියවැව තණතිල්ල තරමක් මන්දගාමී තණතිල්ලක්. එමනිසයි පසුගිය තරගයට ක්‍රීඩාකළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමට තීරණය කළේ. නමුත් වර්ෂාවෙන් පසු එය වෙනස් වුණා" යැයි මැතිව්ස් අවසන් වශයෙන් පවසා සිටියේය.