චීනයේ වුහාන්හිදී පැවැත්වෙන 21 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (04දා) දිනයේදී අවසන් වටයේ තරග ඉසව් හතරක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සුදුසුකම් ලබා සිටි අතර, එම තරග ඉසව් සියල්ලේම ප්‍රමාණවත් දක්ෂතා නොදැක්වීම හේතුවෙන් පදක්කම් බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
මීටර 400 කාන්තා අවසන් තරගයට චන්ද්‍රිකා සුභාෂිණී රස්නායක සහභාගී වූ අතර, තරගය අවසන් කිරීම සඳහා තත්. 54.24 ක කාලයක් ගතකළ ඇය සිය ඉසව්ව අවසන් කළේ 05 වැනියා ලෙසය. කෙසේ නමුත් පෙරේදා (03දා) පැවැති අවසන් තරගයට සුදුසුකම් ලැබූ තරගයේදී චන්ද්‍රිකා පළමුවැනියා ලෙස එම ඉසව්ව අවසන් කළ අතර, ඒ සඳහා තත්. 54.18 ක කාලයක් ගතකළාය.
මීටර 100 කාන්තා අවසන් තරගයට ක්‍රීඩාකළ රුමේෂිකා රත්නායකට එම ඉසව්වේ 06 වැනියා ලෙස තරගය අවසන් කිරීමට ඊයේ (04දා) සිදුවිය. කෙසේ නමුත් පාසල් ක්‍රීඩිකාවක වන රුමේෂිකා තරගය අවසන් කිරීම සඳහා තත්. 11.56 ක කාලයක් වාර්තා කළ අතර, එම කාලය ඇගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම මලල ක්‍රීඩා ඉතිහාසයේ මී. 100 කාන්තා ධාවන තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වාර්තා කළ තෙවැනි හොඳම කාලය විය. තත්. 11.04 ක කාලයක් වාර්තා කර ඇති සුසන්තිකා ජයසිංහ එහි හොඳම කාලයට (ශ්‍රී ලංකා වාර්තා) හිමිකම් කියයි.
තරගාවලියට අවසන් මොහොතේ එක්කළ ක්‍රීඩිකාවක වන කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ ඉගෙනුම ලබන රුමේෂිකා පෙරේදා (03දා) පැවැති අවසන් පූර්ව වටයේ තරගයේදීද තත්. 11.72 කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ තෙවැනියා ලෙස තරගය අවසන් කළාය.
හිමාෂ ඒශාන්, ශෙහාන් අඹේපිටිය, විනෝජ් මුතුමුණි හා මොහොමඩ් අබ්දුල් සහභාගී වූ 100x4 බාලක සහාය දිවීමේ තරගයේද පදක්කම් බලාපොරොත්තුව අතහැර දැමීමට ශ්‍රී ලංකාවට ඊයේ (04දා) සිදුවිය. ශ්‍රී ලංකාව මෙම තරගයේ සිවුවැනියා ලෙස තරගය අවසන් කළ අතර, ඒ සඳහා ඔවුහු තත්. 39.38 ක කාලයක් ගතකළහ. මෙහි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට ගිලිහී ගියේ තත්. 0.03 පරතරයකින් වූ අතර, එම පදක්කම දිනූ චීන තායිපේ කණ්ඩායම තරගය අවසන් කිරීම සඳහා තත්. 39.38 කාලයක් ගත කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ගතකළ කාලය නව ශ්‍රී ලං‘කා වාර්තාවක් වූ අතර, ඔවුන් බිඳ දමනු ලැබුවේ මීට වසර 11කට පෙර ජාතික කණ්ඩායම 2004 වසරේදී කොළඹදී තත්. 39.71 කාලයකින් පිහිටුවා තිබූ වාර්තාවයි.
මී. 5000 අවසන් තරගයට චමින්ද ඉන්දික විජේකෝන් සහභාගී විය. වි. 14.23.77 ක කාලයක් ගතකළ ඔහු එම ඉසව්වේ අවසන් ක්‍රීඩකයා (09) ලෙස තරගය අවසන් කළේය. ඔහුට අමතරව මීටර 400 කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කළ නිලූක වික්‍රමසිංහ සිය ඉසව්වේ සිවුවැනියා ලෙස තරගය අවසන් කළ අතර, ඒ සඳහා ඔහු වි. 1.00.66 කාලයක් ගත කළේය.