සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර ඊයේ (04දා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් යුත් මෙම තරගාවලිය තරග 1-1 ක් ලෙස සමකිරීමට නවසීලන්තයට හැකිවිය.
හරාරේහි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 235/9 ක් පමණි. හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකළ පාකිස්තානු සම්බවයක් ඇති ශිකන්දර් රාසා නොදැවී ලකුණු 100ක් රැස්කළේය. නවසීලන්තය වෙනුවෙන් ඉෂ් සෝදි කඩුලු 03ක් දවාලීය. ඉන්දීය සම්භවයක් ඇති සෝදිගේ දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය මෙය වේ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලත්ත පිතිකරුවෝ කිසිවෙකුත් නොදැවී එම ඉලක්කය පසුකරයාමට සමත්විය. මාටින් ගප්ටිල් (116) හා ටොම් ලේතම් (110) ශතක රැස්කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔවුන් අතරේ බෙදී ගියේය. දෙරට අතර මෙම ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයෙන් කඩුලු 03 ක ජයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
ශිකන්දර් රාසා
සිම්බාබ්වේ පන්දුවට පහරදීම / නවසීලන්තය පන්දු යැවීම
නවසීලන්තය පන්දුවට පහරදීම / සිම්බාබ්වේ පන්දු යැවීම
මාටින් ගප්ටිල්
මෙම තරගයේ විශේෂතා
නවසීලන්තය ලකුණු 236ක ඉලක්කයක් හඹායාම එරට ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භක පිතිකරු යුගලයක් හඹාගොස් අත්කරගත් ඉහළම ජයග්‍රහණය වේ. ඊට අමතරව ආරම්භක පිතිකරු යුගලයක් එරට ක්‍රිකට් ඉතිහාසයේ ගොඩනැගූ දෙවැනි ඉහළම සබඳතාවද මෙය වේ.
නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලයක් ශතක ද්විත්වයක් වාර්තාකළ දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2008 වසරේදී ජේම්ස් මාෂල් හා බ්‍රෙන්ඩන් මැකලම් අයර්ලන්තයට එරෙහිව මෙම දක්ෂතාව දක්වා ඇත.
නවසීලන්තය කඩුලු 10කින් ජයලැබූ 07 වැනි අවස්ථාව මෙය වේ. ඉන් දෙවතාවකදීම ඔවුන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර ඇත. ඊට අමතරව ඔවුන් මීට පෙර කෙන්යාව, බංග්ලාදේශය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය පරාජය කර ඇත.
මාටින් ගප්ටිල් සිය ක්‍රිකට් දිවියේ වාර්තාකළ 08 වැනි ශතකය මෙය වන අතර, එය එරට ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනි වැඩිම ශතක සංඛ්‍යාව සමකිරීම වේ. මෙහි තෙවැනි ස්ථානයේ හිටපු නායක ස්ටීවන් ෆ්ලෙමින් පසුවෙයි. එරට ක්‍රිකට් ඉතිහාසයේ නේතන් ඇස්ලේ (16) හා රොස් ටේලර් (15) වැඩිම ශතක සංඛ්‍යාවකට හිමිකම් කියයි. කෙසේ නමුත් ඇස්ලේ මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන ඇති හෙයින් ටේලර්ට මෙහි ඉදිරියට පැමිණීමට වැඩි අවස්ථාවක් ඇත.
නවසීලන්ත පිතිකරුවන් 14 දෙනෙකු මෙම වර්ෂයේදී ශතක රැස්කර ඇති අතර, එය එරට ක්‍රිකට් ඉතිහාසයේ වර්ෂයක වාර්තා වූ ඉහළම අගය වේ. මීට පෙර 2007, 2011 හා 2014 වර්ෂවලදී ශතක 07 බැගින් වාර්තාකර තිබීම ඔවුන්ගේ ඉහළම අගය විය.
09 වැනි කඩුල්ලට ටිනෂි පන්යන්ගරා හා ශිකන්දර් රාසා ලකුණු 89ක සබඳතාවක් ගොඩනැගූ අතර, එය එරට ක්‍රිකට් ඉතිහාසයේ එම කඩුල්ලට ගොඩනැගූ ඉහළම සබඳතාව වේ. අවසන් වරට 1983 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කෙවින් කරන් - පීටර් රේව්සන් ලකුණු 55 ක් සබඳතාවක් ගොඩනගා තිබුණි.
ශිකන්දර් රාසා රැස්කළ ශතකය එරට ක්‍රිකට් ඉතිහාසයේ අංක 06 හා ඉන්පසුව පන්දුවට පහරදීමට පැමිණ පිතිකරුවෙකු රැස්කළ පළමු ශතකය වේ.
ක්‍රෙග් අර්වින් මෙම තරගයේදී ලකුණු 1000 (1003) කඩඉම පසුකර යාමට සමත්වූ අතර, එම කඩඉම පසුකළ 22 වැනි සිම්බාබ්වේ පිතිකරුවා ඔහු වෙයි. ඊට අමතරව ශිකන්දර් රාසාද මෙම කඩඉම පසුකරයාමට ඊයේ (04දා) සමත්වූ අතර, ඔහු එම වාර්තා අතර 23 වැනි ක්‍රීඩකයා විය.
මාටින් ගප්ටිල්ට ලකුණු 4000 සීමාව පසුකිරීමට මෙම තරගයේදී හැකිවූ අතර, එම කඩඉම පසුකළ 10 වැනි නවසීලන්ත පිතිකරුවා ඔහුය.