ටෙස්ට් සංචිතයේ නවක ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබාදී තිබීම හා දේශගුණයේ බලපෑම හේතුවෙන් නවසීලන්ත සංචාරය අභියෝගාත්මක තරගාවලියක් වුවත්, තමන් ඇතුළු කණ්ඩායම හොඳින් දක්ෂතා දැක්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ආරම්භ කිරීම සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රිකට් ආයතනයේ පසුගියදා (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මැතිව්ස් මෙම අදහස් පළ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිව්ස්, "ඇත්තටම මෙම සංචාරය අපට අභියෝගාත්මක සංචාරයක්. විශේෂයෙන් ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩකයන් ඇතුළත්ව සිටීමත් හා දේශගුණය අපිට යම් අභියෝගයක් වෙයි. නමුත් මම විශ්වාස කරනවා නවක ක්‍රීඩකයන්ට කණ්ඩායම ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තිබෙනවා කියලා. මහේල, සංගක්කාර වසර පහළොවකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වුණා. ඒ ආකාරයටම නවකයනුත් අනාගතයේදී කණ්ඩායම ඉදිරියට ගෙන එයි" යැයි පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ, තමන් සාමාන්‍යයෙන් අංක 05 පිතිකරුවා ලෙස ක්‍රීඩා කළත්, කණ්ඩායමට අවශ්‍ය ඕනෑම මොහොතම ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.
"මම සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන අංක 05 ස්ථානයේ හැර වෙනත් ස්ථානයක ක්‍රීඩාකිරීමට අදහසක් නැහැ. නමුත් කණ්ඩායමේ වෙනස්කමක් සිදුවිය යුතු ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට සූදානම්"
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරන ජෙරොම් ජයරත්න මහතා පවසා සිටියේ, ආරම්භක පිතිකරු ස්ථානය හා අංක තුන ස්ථානයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන නවක ක්‍රීඩකයන් එළඹෙන පුහුණු තරගවලින් අනතුරුව තෝරාගැනීමට බලපොරොත්තු වන බවයි.