දෙවසරකට පසු මහනුවර කිරුළු පලඳියි
වසර දෙකකට පසු ඩයලොග් රග්බි කිරුළ නැවතත් තමන් සතු කරගැනීමට මහනුවර රග්බි ක්රීඩා සමාජය ඊයේ (15දා) සමත් විය.
මහනුවර නිත්තවෙල ක්රීඩාංගණයේ ඊයේ (15දා) අවසන් වූ තීරණාත්මක අවසන් තරගයෙන් නාවික හමුදා කණ්ඩායම හමුවේ ලකුණු 11-12 ක් ලෙස පරාජයට පත්වීමට මහනුවර කණ්ඩායමට සිදුවිය. කෙසේ වෙතත් මෙම තරගය තරගාවලියේ අවසන් තරගය වූ බැවින් ප්රසාද ලකුණු සටහන අනුව තරගාවලියේ පෙරමුණ මහනුවර කණ්ඩායමට හිමිවීම හේතුවෙන් ශූරතාව ඔවුන්ට හිමිවිය.
මෙම තරගයේ ආරම්භයේදී කණ්ඩායම් දෙකම දැඩි ආක්රමණශීලී තරග රටාවකින් තරග වැදුණද තරගයේ පළමු අර්ධයේදී වාර්තා වූ එකම උත්සාහක දිනුම තමන් සතු කරගත් මහනුවර කණ්ඩායම එම අර්ධය අවසානයේ ඉදිරියෙන් සිටියේ ලකුණු 08-06 ක් ලෙසිනි. එහිදී මහනුවර ක්රීඩකයෝ දඬුවම් පහර දෙකක් මගින්ද, නාවික හමුදා ක්රීඩකයෝ උත්සාහක දිනුමකින් හා දඬුවම් පහරකින්ද සිය ලකුණු රැස්කළහ.
නමුත් දෙවැනි අර්ධයේදී වඩාත් ආරක්ෂිතව තම ක්රීඩා රටාව ඉදිරියට ගෙන ගිය නාවික හමුදා ක්රීඩකයෝ එම අර්ධය තුළදී දඬුවම් පහර 2 ක් මගින් තවත් ලකුණු 06 ක් රැස්කර ගත්හ. මහනුවර කණ්ඩායමද එම අර්ධය තුළදී ප්රතිවාදී නාවික හමුදා සීමාව ආක්රමණය කිරීමට තැත් කළද නාවික හමුදාවෙන් ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි. මහනුවර කණ්ඩායම එම අර්ධය තුළදී දඬුවම් පහරකට පමණක් සීමා කිරීමටද ඔවුහු පියවර ගත්හ.
නාවික හමුදා කණ්ඩායම ජයග්රණය කරා රැගෙන ගිය නුවන් හෙට්ටිආරච්චි දඬුවම් පහර 4 ක් සාර්ථක කර ගැනීමට සමත් වූ අතර, මහනුවර කණ්ඩායම වෙනුවෙන් ක්රිස්ටෝපර් ක්ලෝට් එක් උත්සාහක දිනුමක්ද, රොෂාන් වීරරත්න දඬුවම් පහර 2 ක්ද සාර්ථක කර ගැනීමට සමත් වූහ.
මහනුවර කණ්ඩායම අවසන් වරට අන්තර් සමාජ ලීග් ශූරතාවක් ජයග්රහණය කර තිබුණේ 2012 වර්ෂයේදී වූ අතර, පසුගිය වසරේදී (2014) ඔවුහු අනුශූරයෝ වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

