ආසියානු කුසලාන පන්දුවාර විස්සයි20 දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19දා) මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර කඩුලු 09 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම තීරණය කළ අතර, පන්දුවාර 20 අවසානයේදී ඔවුන් කඩුලු 08 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත්විය. පූර්ණ දෘශ්‍යාබාධිත (B1) ක්‍රීඩක ශහදත් හුසේන් පන්දු 36කදී ලකුණු 26 ක් රැස්කරමින් එම ඉනිමේ ඉහළ ලකුණු සංඛ්‍යාව රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ දෘශ්‍යාබාධිත (B3) සුරංග සම්පත් සිය පන්දුවාර 04 තුළදී ලකුණු 28කට කඩුලු 02 ක් හා පූර්ණ දෘශ්‍යාබාධිත (B1) සමන් කුමාර ලකුණු ලකුණු 35කට කඩුලු 02 බිඳහෙළූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩකළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 130 ක ජයග්‍රාහී ඉලක්කය තරගයේ 13.4 වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට සමත් විය. ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය අර්ධ දෘශ්‍යාබාධිත සුරංග සම්පත් (B3) පන්දු 38කදී නොදැවී ලකුණු 56 ක් රැස්කිරීමට සමත්වූ අතර, ඔහුට උපරිම සහයෝගය ලබාදුන් අර්ධ දෘශ්‍යාබාධිත (B2) රුවන් වසන්ත ලකුණු 35 ක් හා පූර්ණ දෘශ්‍යාබාධිත සමන් කුමාර නොදැවී ලකුණු 24 රැස්කිරීමට සමත්වූහ.
තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ සුරංග සම්පත් සම්මාන දිනාගත්තේය. මෙම තරගාවලිය ඉන්දියාවේ කොචිහි ජවහල්ලාල් නේරු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.