ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සහ පාකිස්තානු එක්දින කණ්ඩායම අතර එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරග 5කින් සමන්විත වූ එක්දින තරගාවලිය ආරම්භයේදීම අප සඳහන් කර සිටියේ, තරග 2ක් ජයගන්නට හැකිවුවහොත් එය ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ වර්ධනයක් පෙන්වන තත්ත්වයක් බවයි. එහෙත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එකදු තරගයක්වත් ජය නොගෙන හිස් අතින්ම නැවත පැමිණෙන්නට සිදුවිය. එය ක්‍රිකට්වලට ආදරය කරන සියලු දෙනාටම වේදනාබර තරගාවලි ප්රතිඵලයකි. එමෙන්ම අඛණ්ඩව තරග 12ක් පරාජය වුවද මෙරට ක්‍රීඩාලෝලීන් තවමත් ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කිරීම පැසසිය යුතුය. එහෙයින් අපේ ක්‍රීඩාලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වන්නට මත්තෙන් ජයග්‍රාහී මාවතට පිවිසීම අතිශය වැදගත්ය. මන්ද ක්‍රීඩාලෝලීන් නොමැති තැන ක්‍රීඩාවක්ද නොපවතින බැවිනි.
පාකිස්තානය සමග පැවැති එක්දින තරගාවලියට නම් කරනු ලැබූ සංචිතයේ සිටි ක්‍රීඩකයන් අතරින් වැඩි දෙනෙකුම එක්දින තරගාවලියේදී කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයන් විය. ඒ අතරින් දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර සහ මිලින්ද සිරිවර්ධන ඉදිරියෙන් සිටි ක්‍රීඩකයෝ වෙති. එහෙයින් ඔවුන්ට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවට දොස් පැවරිය නොහැක. නමුත් සෑහීමකට පත්විය හැකි තරග ප්‍රමාණයක් ලබාදුන් පසුවද ඉන් ප්‍රයෝජනයක් නොගත්තේ නම් එම ක්‍රීඩකයන් ගැන තීරණයක් ගැනීමට සිදුවේ. දැන් එළඹ ඇත්තේ එම අවස්ථාවයි. එබැවින් ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේදී මෙම ක්‍රීඩකයන් ගැන නැවත නැවතත් සිතන්නට කාලය එළඹ ඇත. ඔවුන්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමේ කිසිදු ඉඩක් නොමැත. අත්දැකීම් ඇති ක්‍රීඩකයන් අවශ්‍ය යැයි සඳහන් කරමින් වුවද දිගින් දිගටම අසාර්ථක වන ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදීම නොකළ යුත්තකි.
කෙසේ වෙතත් නිලධාරීන්ට හිතවත් ක්‍රීඩකයන්ට කණ්ඩායමේ අවස්ථාව ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙසින් මිලින්ද සිර්වර්ධන සහ දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයන් උපරිම රිද්මයේ සිටි අවධියේදී හිමිවිය යුතුව තිබූ අවස්ථාවන් නොලැබුණු බවත් ඒ හේතුවෙන් පැහැදිලි අනාගතයක් තිබූ ක්‍රීඩකයන්ගේ අනාගතයද විනාශවූ බව නොරහසකි. දැන් කරන්නට දෙයක් නොමැත. සිදුවිය යුතු සියල්ල සිදුව අවසානය. ඊළඟ තරග සංචාරයේ පටන්වත් ඒ ඒ ස්ථානයට සුදුසු ක්‍රීඩකයන් සොයා ගත යුතුය. ඒ වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවේ. තවද එසේ තෝරාගනු ලබන ක්‍රීඩකයන්ට සෑහීමකට පත්විය හැකි අවස්ථාවන් ලබාදෙන බව සඳහන් කරමින් ඔවුන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවද මතක් කර සිටිමු.
ළහිරු තිරිමාන්න ගැනද තීරණයක් ගත යුතුව ඇත. ඔහුට හිතවත් අයගේ බලවත් පරිශ්රමයේ ප්‍රතිඵලයක් ලෙසින් තිරිමාන්න කණ්ඩායමට කැඳවුවද ඔහුගේ කැඳවීම ගැටලු සහගතය. ඒ ගැන තරගාවලිය ආරම්භයේදීම සඳහන් කර සිටියෙමු. එපමණක් නොව ඉදිරියේදී තිරිමාන්න කණ්ඩායමට කැඳවීම සාධාරණීයකරණය කරමින් එක එක තර්ක ඉදිරිපත් කිරීමට හැකිය. එසේම තිරිමාන්නට වාසි සහගත ලෙසින් කරුණු ඉදිරිපත් වුවද ඔහුගෙන් කණ්ඩායමට ලැබුණ දෙයක් නොමැත. සැබෑ ලෙසම තිරිමාන්න දක්ෂ පිතිකරුවෙකුනම් කණ්ඩායම ගොඩදමන්නට ඔහුටද ඇති තරම් අවස්ථාව හිමිවිය. එහෙත් ඔහුට කණ්ඩායම වෙනුවෙන් දැනෙන යමක් කිරීමට නොහැකි විය. තවද තිරිමාන්න කණ්ඩායමට කැඳවීම තුළ කණ්ඩායම අසමබර වූ බව අපගේ හැඟීමයි.
ළහිරු හේතුවෙන් පිතිකරුවන් පන්දුවට පහරදෙන ස්ථානයන් පවා වෙනස් කිරීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ලකුණු අතර සිටි ක්රීඩකයෝද අසාර්ථක වූහ. එහි වගකීම බාරගන්නට දැන් කිසිවෙකුවත් නොමැත. තිරිමාන්න එක්දින තරගාවලියේදී අර්ධ ශතක දෙකක් රැස් කළද ඔහු නිසා සෙසු පිතිකරුවන් පීඩනයට හසුවී දැවීයාම කිසිවෙකුත් කතා නොකරති. තිරිමාන්න කෙසේ හෝ සිය ස්ථානය රැකගත්තද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන් අත්වූ යහපතක් නොමැත.
තිසර පෙරේරා ගැන සඳහන් කරන්නට ඇත්තේද ළහිරු ගැන සඳහන් කළ කරුණුවලටම සමාන කරුණුය. පාකිස්තානු තරගාවලියට පෙර දරුණු ලෙස අසාර්ථක වූ තිසර පසුගියදා අවසන් වූ එක්දින තරගාවලියේදී එක් අර්ධ ශතකයක් වාර්තා කරමින් යම් ප්‍රමාණයකට ගොඩ ගියද ඉන් සෑහීමකට පත්විය නොහැක. තිසර කිසිදු අවස්ථාවක විශ්වාසයෙන් පහර දෙන ආකාරයක් දැකගත නොහැකි විය. වාසනාව මත දිනයේ සාර්ථකවනවා මිස ඔහුගේ සාර්ථකත්වයක් නොමැත.
තිසර පන්දුවට පහරදෙන ආකාරය හොඳින් බලා සිටියේ නම්, ඒ සම්බන්ධයෙන් තීරණය කරන්නට හැකි බව අපගේ විශ්වාසයයි. තවද කඩා වැටුණු ඉනිමක් ගොඩ නගන ආකාරය ගැන තිසරට දැනීමක් නොමැත. ඔහුට සාපේක්ෂව සීක්කුගේ ප්‍රසන්න තරගයේ ස්වභාවය කියවා ගනිමින් ඉනිම ගොඩනගන්නට උත්සාහ කළ බව පැහැදිලිය. කණ්ඩායමකට අවශ්‍ය වන්නේ එවැනි ක්‍රීඩකයන්ය. එහෙයින් නොවැම්බර් මස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා දිමුත් කරුණාරත්න, අශාන් ප්රියංජන්, දසුන් ශානක, ඩිල්රුවන් පෙරේරා සහ විකුම් සංජය ගැන දැඩිව සලකා බලන්නට සිදුවන බව අවසන් වශයෙන් සඳහන් කර සිටිමු.