පළමු පෙළ විස්සයි20 තරගයකදී පිතිකරුවෙකු එල්ල කළ දෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව සමකිරීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ දසුන් ශානක ඊයේ (12දා) සමත්විය.
ඒ.අයි.ඒ. ප්‍රිමියර් විස්සයි20 තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (12දා) පැවැති තරගයේදී දසුන් ලකුණු 123 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 46කදී ගොඩනැගුණු එම ඉනිමට හයේ පහර 16 ක් හා හතරේ පහර 02 ක් අන්තර්ගත විය. එහි ඔහු එල්ල කළ හයේ පහර සංඛ්‍යාව පළමු පෙළ විස්සයි20 තරගයකදී එල්ල කළ සම දෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාව වේ. ඒ අනුව දසුන් එංගලන්ත ක්‍රීඩක (පළමු පෙළ) ග්රැහැම් නේපියර් සමගින් සම තත්ත්වයේ පසුවෙයි.
2013 වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේ ක්‍රිස් ගේල් (175), පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහිව එල්ල කළ හයේ පහර 17 පළමු පෙළ තරගයකදී පිතිකරුවෙකු එල්ල කර ඇති වැඩිම හයේ පහර සංඛ්‍යව වේ.
දසුන්ගේ ඉනිමත් සමග එස්.එස්.සී. කණ්ඩාමට පන්දුවාර 20 අවසානයේ ලකුණු 251 ක් රැස්කිරීමට හැකිවූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සැරසන්ස් කණ්ඩායමට පන්දුවාර 16.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. ඒ අනුව ලකුණු 123ක ජයක් එස්.එස්.සී. කණ්ඩායමට හිමිවිය.
පළමු පෙළ විස්සයි20 තරගයදී දසුන් වාර්තාළ දෙවැනි ශතකය මෙන වන අතර, ඉහත තරගාවලියේ ඉකුත් සතියේ පැවැති තරගයේදීද ඔහු හයේ පහර 12 ක් හා හතරේ පහර 10 ක් සමගින් පන්දු 48කදී නොදැවී ලකුණු 131 ක් රැස්කිරීමට සමත්විය.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ හා මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකු වන 24 හැවිරිදි දසුන් ශානක, ඉකුත් අගෝස්තු මාසයේදී පාකිස්තානය සමග ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදී විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනාගත්තේය. කෙසේ නමුත් ඉන් අනතුරුව ඔහුට ජාතික කණ්ඩායමට ක්‍රීඩාකිරීමට අවස්ථාවක් හිමි නොවුණි.