ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර සූරියවැවහිදී අද (12දා) පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 82ක දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන්ට තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1 ලෙස ජය ගැනීමට හැකිවිය. දකුණු අප්‍රිකානු කණ්ඩායමක් දෙරට අතර 21 වසරක එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකා කණ්ඩායමක් පරාජය කර තරගාවලි ජයක් ලැබූ පළමු අවස්තාව මෙයවෙයි.
කුයින්ටන් ඩි කොක්ගේ හා ඒ.බී. ඩිවිලියර්ස්ගේ විශිෂ්ඨ පිතිහරඹය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණයේ අත්තිවාරමවූ අතර, ඔවුන්ගෙන් ලැබූ දායකත්වය හමුවේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ පීඩනයකින් තොරව පන්දු යැවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයේ ප්‍රධානම හේතුව විය. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩාම මෙම තරගාවලිය පුරා සිදුකළ දුර්වල පන්දු රැකීමද අද තරගයේ ප්‍රතිඵලයට හේතුවිය.
ලකුණු 340ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44.3ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 257ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ගෞරවාන්විත සටනක් ලබාදුන් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 58 රැස්කිරීමට සමත්වූ අතර, ඔහු අශාන් ප්‍රියන්ජන් සමගින් හය වැනි කඩුල්ලට 83ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩාමේ බිඳවැටී තිබූ බලාපොරොත්තු නැවත ඇති කළේය. එම සබඳතාව බිඳ නොවැටෙන්නට තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට ඉඩතිබිණි.
කුසල් ජනිත් සමගින් තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 57ක (පන්දුවාර 5.3) වේගවත් ආරම්භක් ලබාදුන්නේය. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට අකාරුණික පිතිහරඹයක් දියත්කරමින් සිටි කුසල්, ලකුණු අතර එමින් සිටියදී හදිසියේ කඩාපාත්වූ වේන් පාර්නෙල්ගේ පන්දුවක් හමුවේ ඩිවිලියර්ස් අතට උඩ පන්දුවක් ලබාදීමේන් කුසල් දැවීගියේය. ඒ වන විට කුසල් පන්දු 25කදී ලකුණු 37ක් රැස්කරගෙන සිටියේය.
ඉන් අනතුරුව එක්වූ සංගක්කාර, ඩිල්ශාන් සමගින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටියත් මුලු ලකුණු 107දී ඩිල්ශාන් (30) දුවද්දී දැවීයාමත් සමඟ බිඳවැටිණ. එය ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට බලපෑ ප්‍රධානම සාධකය විය. ඉන් අනතරුව ඉනිමට තවත් ලකුණු 6ක් එක්වන විට ලකුණු 36 රැස්කරගෙන සිටි සංගකාරද, මහේල ජයවර්ධන (02) මුලු ලකුණු 113දී දැවීගියහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භවිය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 339/5ක් රැස්කිරීමට සමත්විය. එය මෙම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව විය. මීට පෙර ඉකුත් ලෝක කුසලාන තරගාවලියේදී (2011) ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කැනඩා කණ්ඩායමට එරෙහිව ලකුණු 332/7 ක් රැස්කර තිබුණි. ඩි කොක් ලකුණු 128ක් හා ඒ.බී ඩිවිලියර්ස් ලකුණු 108 රැස්කරමින් දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූහ.
ඩි කොක් ලකුණු 38දී සේනානායකගේ පන්දුවකට ඩිල්ශාන් අතට ලබාදුන් උඩපන්දුව අතනොහැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ඉලක්කය මීට වඩා වෙනස්වන්නට ඉඩතිබුණි. තරගයේ වීරයා ලෙස කුයින්ටන් ඩි කොක් සම්මාන ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස හෂීම් අම්ලා සම්මාන ලැබීය.
දකුණු අප්‍රිකාව 330/5 (පන්දුවාර 50)
හෂීම් අම්ලා 48 (පන්දු 61, 4x4)
ඩි කොක් 128 (පන්දු 127, 4x12, 6x3)
ජැක් කලිස් 4 (පන්දු 10)
ඒ.බී. ඩිවිලියර්ස් 108 (පන්දු 71, 4x11, 6x4)
ජේ.පී. දුමිනි 29 (පන්දු 24, 4x2, 6x1)
ඩේවිඩ් මිලර් නොදැවී 4 (පන්දු 4)
රයන් මැක්ලරන් නොදැවී 2 (පන්දු 3)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
රංගන් හේරත් 2/48 (පන්දුවාර 10)
අජන්ත මේන්ඩිස් 2/48 (පන්දුවාර 7)
සචිත්ර සේනානායක 1/66 (පන්දුවාර 10)
ශ්‍රී ලංකාව 257/10 (පන්දුවාර 44.3)
කුසල් ජනිත් 37 (පන්දු 25, 4x4, 6x2)
තිලකරත්න ඩිල්ශාන් 30 (පන්දු 24, 4x5)
කුමාර් සංගක්කාර 36 (පන්දු 23, 4x6)
මහේල ජයවර්ධන 2 (පන්දු 8)
ළහිරු තිරිමාන්න 22 (පන්දු 37, 4x1)
ඇන්ජලෝ මැතිව්ස් 58 (පන්දු 81, 4x5, 6x1)
අශාන් ප්‍රියන්ජන් 30 (පන්දු 25, 4x4, 6x2)
සචිත්ර සේනානායක 13 (පන්දු 16, 4x2)
රංගන හේරත් 1 (පන්දු 4)
අජන්ත මෙන්ඩිස් නොදැවී 0 (පන්දු 1)
ලසිත් මාලිංග 0 (පන්දු 3)
දකුණු අප්‍රිකාව පන්දු යැවීම
රයන් මැක්ලරන් 3/37 (පන්දුවාර 8)
ජේ.පී. දුමිනි 2/43 (පන්දුවාර 8.3)
මෝනේ මෝකල් 2/49 (පන්දුවාර 7)
ඉම්රාන් තහීර් 1/29 (පන්දුවාර 10)
වේන් පාර්නෙල් 1/38 (පන්දුවාර 4)
ඡායාරූප - ශාන්ත රත්නායක