සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (13දා) නිමාවට පත්විය. ඒ අනුව වසර 16ක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් පරාජය නොවීමේ වාර්තාව තවදුරටත් රැකගැනීමට සමත්විය. කෙසේ නමුත් තරග 2 - 0 ක් ලෙස සත්කාරක එංගලන්ත කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 362ක ඉලක්කයක් හඹායමින් තම දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනට පෙරේදා (12දා) තරගය නතර කරන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 32ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා ඊයේ දිනය තුළ ලකුණු 330ක් රැස්කරගත යුතුව තිබිණි.
කෙසේ නමුත් ඊයේ (13දා) දිනයේ ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් දිවා ආහාරය වනතෙක් කිසිදු පන්දුවාරයක් ක්‍රීඩාකිරීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් දිවා ආහාරයෙන් පසු තරගය ආරම්භ කිරීමට කටයුතු කළේය. කෙසේ නමුත් ඉන් අනතුරුවද තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා පැමිණුනු හෙයින් තරගය අත්හිටුවීමට තරග තීරකවරයා කටයුතු කළේය. තරගය අත්හිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 78 ක් රැස්කරගෙනජයග්රහණයට ලකුණු 284ක් පසුපසින් සිටියේය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි දිමුත් කරුණාරත්න ලකුණු37ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් රැස්කරගෙන සිටියහ.
මෙම තරගයේ තම දෙවැනි ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 233 ක් රැස්කර ඉනිම අත්හිටුවූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 362ක ඉලක්කයක් හිමිවිය.
පසුගිය බ්‍රහස්පතින්දා (09දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 416 ක් රැස්කිරීමට සමත්වූ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 288ක් පමණි.
තරගයේ වීරයා ලෙස ජොනී බෙයාස්ටෝ සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස ඔහු (බෙයාස්ටෝ) හා කෞෂාල් සම්මාන දිනාගත්හ.
එංගලන්තය පළමු ඉනිම 416/10 (පන්දුවාර 128.4)
ජොනී බෙයාස්ටෝ (නොදැවී) 167 (251, 4x18), ඇලෙස්ටෙයාර් කුක් 85 (173, 4x9), ක්‍රිස් වෝක්ස් 66 (142, 4x8), රංගන හේරත් 4/81 (36), සුරංග ලක්මාල් 3/90 (27), නුවන් ප්‍රදීප් 2/104 (27)
ශ්‍රී ලංකාව පළමු ඉනිම 288/10 (පන්දුවාර 95.1)
කෞෂාල් සිල්වා 79 (152, 4x10), දිමුත් කරුණාරත්න 50 (101, 4x7), කුසල් පෙරේරා 42 (73, 4x7), රංගන හේරත් 31 (49, 4x5), ස්ටීවන් ෆින් 3/59 (18), ක්‍රිස් වෝක්ස් 3/31 (17.1)
එංගලන්තය දෙවැනි ඉනිම 233/7 (පන්දුවාර 71)
ඇලෙක්ස් හේල්ස් 94 (179, 4x10, 6x1), ඇලෙස්ටියාර් කුක් නොදැවී 49(86, 4x3, 6x1), ජොනී බෙසාස්ටෝව් 32 (72, 4x1), නුවන් ප්‍රදීප් 3/37 (15), ශමින්ද එරංග 3/58 (14)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම78/1 (පන්දුවාර 24.2)
දිමුත් කරුණාරත්න නොදැවී 37(66, 4x6), කුසල් මෙන්ඩිස් නොදැවී 17 (30, 4x2, 6x1), කෞෂාල් සිල්වා16 (51, 4x3), ජේම්ස් ඇන්ඩර්සන් 1/27 (9)