ආබාධයකට ලක්ව එංගලන්ත සංචාරයෙන් ඉවත්වූ වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට ලෝඩ්ස්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට වමතින් වේග පන්දු යවන්නෙකු වන චමින්ද බණ්ඩාර කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
එමෙන්ම ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරගයකදී ආබාධයකට ලක්වූ ධම්මික ප්‍රසාද් වෙනුවට කණ්ඩයමට ආරම්භක පිතිකරු කුසල් ජනති පෙරේරා නම් කළ අතර, ඔවුන් දෙදෙනාම පසුගියදා (මැයි 29දා) එංගලන්තය බලා පිටත්ව ගියහ. ඒ අනුව කුසල් හා චමින්ද යන දෙදෙනාටද තෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගි වීමේ අවස්ථාව උදාවී තිබේ.
කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන බණ්ඩාර, මෙරට දේශීය තරගබිමේදී පළමු පෙළ තරග 51 කදී කඩුලු 141 ක් බිඳදමා ඇති අතර, ඔහු මෙම වසරේ පැවැති ඒ.අයි.ඒ. ප්‍රිමියර් ලීග් තරගාවලියේදී වැඩිම කඩුලු දවාගත් වේගපන්දු යවන්නාද (කඩුලු 15) වේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (02දා) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, බණ්ඩාර මෙරට දේශීය තරගවලදී ඉතා හොඳින් දක්ෂතා දැක්වූ බවයි. එනිසා එංගලන්තය වැනි පරිසරයකට ඔහුගේ පන්දු යැවීම ඉතාමත් යෝග්‍ය හෙයින් ඔහුව ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට කමිටු සභාපති සනත් ජයසූරිය මහතා තීරණය කළ බවයි.
මේ අතර පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ දෙවැනි ටෙස්ට් තරගයේදී චෝදනා ලැබු දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ශමින්ද එරංගට ලෝඩ්ස් හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.
පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ 14 ක් තුළදී එරංග පරීක්ෂණයකට මුහුණදිය යුතු අතර, ඒ අනුව එළැඹෙන 06 වැනිදා එංගලන්තයේ ලාෆ්බොරෝහිදී එරංග එම පරීක්ෂණයට මුහුණදීමට නියමිතය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එළඹෙන 09 වැනිදා ආරම්භ වීම නියමිතය.