තිසර IPL අත්දැකීම් ශ්‍රී ලංකාවට දෙන්න සැරසෙයි
ඉන්දීය පිලට එරෙහිව මොහාලිහි පන්ජාබ් ක්‍රිකට් සංගම් අයි.එස්. බින්ද්ර ක්‍රීඩාංගණයේදී අද (13දා) පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී අයි.පී.එල්. තරගාවලියේදී 'කිංග්ස් ඉලෙවන් පන්ජාබ්' පිල නියෝජනය කිරීමෙන් උකහාගත් අත්දැකීම් ප්‍රයෝජනට ගන්නා බව ශ්‍රී ලංකා පිලේ නායක තිසර පෙරේරා පැවසීය.
මේ පිළිබඳව තිසර, මොහාලිහිදී ඊයේ (12දා) වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.
“මම අයි.පී.එල්. තරගාවලියේදී වසර කිහිපයක්ම 'කිංග්ස් ඉලෙවන් පන්ජාබ්' පිල නියෝජනය කිරීම නිසා මෙම ක්‍රීඩාංගණයේ තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. මෙම තණතීරුව සාමාන්‍යයෙන් පිතිකරුවන්ට යෝග්‍ය එකක්. මෙම තරගය ලකුණු වැඩි තරගයක් වෙන්න පුළුවන්.”
තිසර පෙරේරා 'කිංග්ස් ඉලෙවන් පන්ජාබ්' පිල නියෝජනය කරමින් තරග 10කට අධික සංඛ්‍යාවකට මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කර තිබේ.
දිවා/රාත්‍රී තරගයක් වන මෙම තරගය පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතය.
ධර්ම්සාලාහිදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල විශිෂ්ට ජයක් ලබා තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණේ සිටීම නිසා මෙම තරගය දෙපිලටම තීරණාත්මක වී තිබේ.
ශ්‍රී ලංකා පිල අද තරගය ජය ලැබුවහොත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය තහවුරු කර ගැනීමේ අවස්ථාව උදාවේ. ඉන්දියාව තරගාවලිය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තබාගැනීමට නම් මෙම තරගය ජය ලැබීම අනිවාර්යය වී තිබේ.
ශ්‍රී ලංකාව පළමු තරගය ජය ලැබීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණක් හිමිවූ අතර, 08 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 84ක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය 3-0කින් ජය ලැබීමට සමත් වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ නැංවේ. එක්දින ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින ඉන්දියාව පළමු තරගයෙන් ලැබූ පරාජය හේතුවෙන් පෙරමුණට ඒමට තිබූ අවස්ථාව අහිමි විය. ඉන්දියාව මෙම තරගාවලිය 3-0කින් ජය ලැබුවේ නම්, ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 121ක් බවට පත්වේ.
ශ්‍රී ලංකා පිල ඊයේ (12දා) පස්වරුවේ මොහාලි ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර, එම පුහුණු සැසියට පෙර මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ නායක තිසර පෙරේරා පැවසුවේ මෙම තරගය ජය ලබා තරගාවලියේ ජය ලැබීමට ශ්‍රී ලංකා පිලට හොඳ අවස්ථාවක් ලැබී ඇති බවයි.
“අපිට කිසිදු පීඩනයක් නෑ. අද තරගය ජය ලැබුවහොත් අපි තරගාවලිය ජය ලබන බව අපි සියලුදෙනාම දන්නවා. උපරිමයෙන් ක්‍රීඩා කරන්න මගේ කණ්ඩායම සූදානමින් ඉන්නේ.
පළමු තරගයේදී ලැබූ විශිෂ්ට ජයත් සමග තරගාවලියක් ජය ලැබීමට මේක අපිට ඉතාමත් හොඳ අවස්ථාවක්. එසේ වුවහොත් අපිට 2-0ක් ලෙස ස්ථාවර වෙන්න හැකියාව ලැබෙනවා
මගේ වේග පන්දු යවන්නන් පිළිබඳව මට සියයට 200ක විශ්වාසයක් තියෙනවා. සුරංග ලක්මාල් තරගයට සූදානමින් ඉන්නේ. ධනංජය සිල්වා පමණක් ආබාධයකට ලක්ව සිටිනවා.
පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනසක් කරනවාද නැද්ද යන්න පිළිබඳව තවම තීරණය කර නෑ. හෙට තණතීරුව පරීක්ෂා කරලා අවසන් 11දෙනා නම් කරනවා” යැයි තිසර වැඩි දුරටත් පැවසීය.
ඉන්දීය පිලද ඊයේ පස්වරුවේ මොහාලි ක්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගි විය.
ඉන්දීය නායක රෝහිත් ශර්මා මාධ්‍ය හමුවේදී පැවසුවේ ක්‍රීඩාංගණයේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර අතිරේක වේග පන්දු යවන්නකු ක්‍රීඩා කරවීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි.
පළමු තරගයේදී ස්ථානය අහිමි වූ ජ්‍යෙෂ්ඨ පිතිකරු අජින්ක්‍යා රහනේ මෙම තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. රහනේ ඊයේ පුහුණු සැසියේදී දැඩි අවදානයකින් පන්දුවට පහරදීමේ නිරතව සිටියේය.
මොහාලි ක්‍රීඩාංගණයේ පසුගිය වසරේ (2016) ඔක්තෝබර් මාසයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර එක්දින තරගයෙන් පසුව එක්දින ජාත්‍යන්තර තරගයක් පවත්වා නැත. එම තරගයෙන් ඉන්දියාව කඩුලු 7ක ජයක් ලැබූ අතර, එහිදී නොදැවී ලකුණු 154ක් රැස්කළ විරාට් කෝලි විවාහය සඳහා විවේක ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකා සංචිතය:
තිසර පෙරේරා (නායක), ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ළහිරු තිරිමාන්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා
ඉන්දීය සංචිතය:
රෝහිත් ශර්මා (නායක), ජස්ප්‍රිට් බුම්රා, යුෂ්වෙන්ද්ර චාහල්, ශීකර් ධවාන්, මහේන්ද්‍ර සිං දෝනි, ශියාස් අයියර්, කීදර් ජදාව්, දිනේෂ් කාර්තික්, සිද්ධාර්ත් කාවුල්, කුල්දීප් යාදෙව්, බුවනේෂ්වර් කුමාර්, මනීෂ් පාන්ඩේ, හර්ද්‍රික් පාණ්ඩියා, අක්ෂර් පටෙල් සහ අජින්ක්‍යා රහනේ
යොහාන් බාසුර මොහාලි සිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


