තම ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණ වශයෙන් සුවය ලබා නොමැති හෙයින් තවමත් පන්දු යැවීම ආරම්භ කර නැති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි20 නායක ලසිත් මාලිංග 'අදට' පැවසීය.
සිය පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයට ඔස්ට්‍රේලියාවේ කරනු ලැබූ ශල්‍යකර්මයෙන් පසුව මාලිංග විවේකයෙන් පසුවේ.
මාලිංග පකිස්තාන කණ්ඩායම හා දඹුල්ලේ පැවැති එක්දින තරගයෙන් පසුව සිය ශල්‍යකර්මයට සහභාගීවූ හෙයින් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට එක්නොවීය.
එසේම තරග තහනමකට ලක්වූ සචිත්ර සේනානායකද එම සංචාරයට එක් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ලවිය. සචිත්ර නැවතත් සිය ඉරියව්ව සකස්කර අයි.සී.සී. පරීක්ෂණයෙන් සමත්වී තිබෙන අතර, ඔහු ඊයේ (10දා) තරගයටත් එක්විය.
මාලිංගද ආබාධ තත්ත්වයෙන් සුවය ලැබීමෙන් පසුව කණ්ඩායමට එක්වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත්වනු ඇත. බොහෝවිට මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී සීමිත පන්දුවාර තරගවලදී කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් තිබේ.
සිය ආබාධ තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ලසිත්, “ආබාධ තත්ත්වය නම් තාමත් සම්පූර්ණ වශයෙන් සුවය ලබා නෑ. පන්දු යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් කොයි කාලයේ ආබාධය හොඳ වෙයිද කියන්න බෑ. ඒ නිසා තාම පන්දු යවන්න පටන් අරගෙන නෑ.” යැයි පැවසීය.
දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරිතම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන නම් කරනු ලැබූ 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයටද අැතුළත්ය.
මාලිංග එක්දින තරග 177 කදී කඩුලු 271ක් දවාගෙන තිබෙන අතර, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 27.21කි. විස්සයි20 පිටියේ තරග 57කදී ඔහු බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 68ක් වන අතර, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 21.10කි. මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගෙන තිබේ.