අත්දැකීම් සහිත ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් නොමැති වුවත් පාකිස්තානය සමගින් පැවැත්වෙන තරගාවලිය සඳහා හොඳ කණ්ඩායමක් සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ඔහු මේ බව පැවසුවේ, පාකිස්තානය සමගින් පැවැත්වෙන තරගාවලිය පිළිබඳව පසුගියදා (12දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස්, 'අපි පසුගිය මාස දෙකක් පමණ සිට තරගාවලිය සඳහා සූදානම් වුණා. හොඳින් ශාරීරික යෝග්‍යතා අභ්‍යාසවල නිරත වුණා. අපිට හොඳ තරුණ කණ්ඩායමක් ඉන්නවා. එනිසා හොඳින් ක්‍රීඩා කරලා තරගාවලි සියල්ල ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවෙනවා' යැයි පැවසීය.
එමෙන්ම ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයන් යොදාගැනීම සම්බන්ධයෙන් අදහසක් දක්වමින් මැතිව්ස් පවසා සිටියේ, ගාල්ලේ තණතීරුව දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය බවත් මීට පෙර පැවැති ටෙස්ට් තරගවලට වඩා මෙම තරගයේදී වැඩි වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවත්ය.
එමෙන්ම මෙහිදී පාකිස්තානු කණ්ඩායම පිළිබඳව අදහස් දැක්වූ මැතිව්ස් පැවසුවේ, ඔවුන් ලංකාවේදී බොහෝ තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර අත්දැකීම් ඇති කණ්ඩායමක් බවයි.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ප්‍රධානී සිදත් වෙත්තමුණි මහතා පැවසුවේ, කණ්ඩායම් දෙකම මෙවර තරගාවලිය සඳහා සම තත්ත්වයේ සිටින බවත් වඩා හොඳ කණ්ඩායම ජයගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්ය. එමෙන්ම 1996 වර්ෂයේදී පාකිස්තානයේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඔවුන්ගෙන් ලැබුණු සහයෝගයද සිදත් මහතා මෙහිදී සිහිපත් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මාවන් අතපත්තු මහතා පැවසුවේ පසුගිය ජුනි පළමු වැනිදා එංගලන්ත ජාතික මයිකල් මේන්ගේ පත්වීමත් සමග කණ්ඩායම සඳහා අඩුවක්ව පැවැති ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවකුගේ (trainer) අඩුපාඩුව සම්පූර්ණ වූ බවයි. ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම තරගාවලිය සඳහා අතිශය වැදගත් වන හෙයින් පිතිකරුවන්ට හා පන්දු යවන්නන් සිටිය යුතු එක් එක් ශාරීරික යෝග්‍යතා මට්ටම් මෙම තරගාවලියේදී තීරණය කළ බවත් එය ටෙස්ට් හා එක්දින අංශ දෙකම එකම තීව්රතාවකින් ක්‍රීඩා කිරීම සඳහා වැදගත් වනු ඇති බවයි.
මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සැපයූ පාකිස්තානු නායක මිස්බා-උල් හක් පැවසුවේ, තම කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාව සමගින් මුහුණ දුන් තරගාවලියේදී ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන්නා වන රංගන හේරත් හොඳින් දස්කම් අතර සිටි බවත්ය.
'මම හිතන්නෙ ඔහු දක්ෂ පන්දු යවන්නෙක්. මෙවරත් ඔහු කණ්ඩායම වෙනුවෙන් උපරිම දස්කම් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් මෙවර ඔහුට මුහුණ දීමට අපිට සැලසුම් කිහිපයක් තිබෙනවා 'හෙතෙම පැවසීය.එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තම රටේදීම පරාජයට පත් කිරීම සඳහා දැඩි අසීරු කණ්ඩායමක් බව ඔහු මෙහිදී සිහිපත් කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු වකාර් යුනිස්ද සහභාගි වී සිටියේය.
ටෙස්ට් තරග තුනකින්, එක්දින තරග 5 කින් පන්දුවාර විස්ස තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය අනිද්දා (17දා) ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ආරම්භ වේ.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ