ජෝ රූට්ගේ සටන්කාමී ඉනිමත්, ජේම්ස් ටේලර්ගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (11දා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. මෙම තරගය එංගලන්ත කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩාකළ පළමු එක්දින ජාත්‍යන්තර තරගයද විය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 240ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම තරගයේ 49.1 වැනි පන්දුවේදී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
තරග හතකින් සමන්විත එක්දින තරගාවලිය 3-2ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියි.
සුපුරුදු පරිදි මොයින් අලී සමගින් ඇලිස්ටෙයාර් කුක් එංගලන්ත ඉනිම ආරම්භ කළේය. කෙසේ නමුත් වෙනදා අලීගෙන් ලබාදුන් වේගවත් ආරම්භය මෙවර එංගලන්ත කණ්ඩායමට ලබාදීමට සචිත්ර සේනානායක ඉඩ ලබා නොදුන්නේය. පන්දුව කඩුල්ලේ වැදීමෙන් දෙවැනි පන්දුවාරයේදීම අලීගේ (04) ඉනිම අවසන් විය. ඉන් නොනැවතුණු සචිත්ර මුළු ලකුණු 35 වනවිට නායක ඇලිස්ටෙයාර් කුක්ගේ ඉනිමද අවසන් කළේය. කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව කුක් දැවී යනවිට ලකුණු 20ක් රැස්කරගෙන සිටියේය.
සචිත්ර සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකස් කරගෙන ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගිය අඟහරුවාදා (09දා) නිවේදනය කළ අතර, ඊට පසුව ඔහු ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙය වෙයි.
කෙසේ නමුත් කුක්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ජෝ රූට්, ජේම්ස් ටේලර් තෙවැනි කඩුල්ලට ලකුණු 104ක සබඳතාවක් ගොඩනගා කණ්ඩායමට අවශ්‍ය ජය මාවත විවර කර දුන්හ.
තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ මුලු ලකුණු 139දී ටේලර් ජීවන් මෙන්ඩිස් අතට උඩපන්දුක් ලබාදී දැවීයනවිට ලකුණු 68ක් රැස්කරගෙන සිටියේය. ජාත්‍යන්තර එක්දින පිටියට තවමත් කෝඩුකාරයෙකු (තරග 4) වන ටේලර් ඊයේ (11දා) රැස්කරනු ලැබුවේ දෙවැනි අර්ධ ශතකයයි.
සිව්වැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි රවී බොපාරා සමගින් එක්වූ ජෝ රූට් ලකුණු 86ක සබඳතාවක් ගොඩනැගූහ. එහෙත් ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී ලකුණු 28ක් රැස්කරගෙන සිටි බොපාරා ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ තිරිමාන්නගේ අගනා උඩපන්දුවක් හමුවේ දැවී ගියේය. ඉන් අනතුරුව ඉයන් මෝගන්ද ලකුණු පහකට දැවී ගියේය. කෙසේ නමුත් ජෝෂ් බට්ලර් සමගින් එක්වූ ජෝ රූට් එංගලන්ත ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
සටන්කාමී ඉනිමක් ගොඩනැගූ ජෝ රූට් නොදැවී ලකුණු 104ක් රැස්කළ අතර, ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද සම්මානද හිමිකර ගත්තේය.
පෙරේදා (10දා) පැවැති මෙම තරගයේ එංගලන්ත නායකයාගේ ඇරයුමෙන් පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කදී සියල්ලන් දැවී ලකුණු 239ක් රැස්කිරීමට සමත් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම අවසන් වනවාත් සමඟ වර්ෂාව ඇඳහැලුණු අතර, ඒ හේතුවෙන් ඊයේ (11දා) ප.ව. 2.30 සිට එංගලන්ත ඉනිම ආරම්භ කිරීමට තරග තීරකවරයා තීරණය කළේය.
දෙරට අතර පැවැත්වෙන හයවැනි තරගය මෙම ක්‍රීඩාංගණයේදීම අනිද්දා (13දා) පැවැත්වේ.
ශ්‍රී ලංකාව 239/10 (පන්දුවාර 49)
කුමාර් සංගක්කාර 91 (පන්දු 123, 4x10)
ඇන්ජලෝ මැතිව්ස් 40 (පන්දු 76, 4x4)
තිලකරත්න ඩිල්ෂාන් 35 (පන්දු 31, 4x6)
තිසර පෙරේරා 27 (පන්දු 17, 4x4, 6x1)
එංගලන්තය පන්දු යැවීම
ක්‍රිස් වෝක්ස් 6/47 (පන්දුවාර 8)
ක්‍රිස් ජෝඩන් 2/56 (පන්දුවාර 10)
කඩුලු වැටීම
1/3 (කුසල්), 2/54 (ඩිල්ෂාන්), 3/59 (මහේල), 4/144 (මැතිව්ස්), 5/173 (තිරිමාන්න), 6/199 (සංගක්කාර), 7/202 (ජීවන්), 8/212 (සේනානායක), 9/238 (තිසර), 10/239 (අජන්ත)
එංගලන්තය 240/5 (පන්දුවාර 49.1)
ඇලෙස්ටෙයාර් කුක් 20 (පන්දු 30, 4x3)
මොයින් අලි 4 (පන්දු 4, 4x1)
ජේම්ස් ටේලර් 68 (පන්දු 90, 4x5, 6x1)
ජෝ රූට් නොදැවී 104(පන්දු 117, 4x7, 6x1)
රවී බොපාරා 28 (පන්දු 49, 4x1)
ඉයන් මෝගන් 5 (පන්දු 5, 4x1)
ජෝෂ් බට්ලර් නොදැවී 2 (පන්දු 1)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
සචිත්ර සේනානායක 2/35 (පන්දුවාර 10)
තිලකරත්න ඩිල්ෂාන් 1/45 (පන්දුවාර 9.1)
තිසර පෙරේරා 1/26 (පන්දුවාර 6)
අජන්ත මෙන්ඩිස් 1/49 (පන්දුවාර 9)
කඩුලු වැටීම
1/12 (අලි), 2/35 (කුක්), 3/139 (ටේලර්), 4/225 (බොපාරා), 5/238 (මෝගන්)
ඡායාරූප ශාන්ත රත්නායක
ක්‍රීඩාංගණයට ඉහළ අහස මේ වනවිට අදුරු වෙමින් තිබේ. ඒ හේතුවෙන් විදුලි ආලෝකය ලබාදීමට කටයුතු කර ඇත.
ලකුණු 240ක ඉලක්කයක් හඹායමින් සිටින එංගලන්ත කණ්ඩායම මේ වනවිට පන්දුවාර 25ක් අවසන් වී කඩුලු දෙකක් දැවී ලකුණු 118ක් රැස්කරගෙන සිටියි. පන්දුවට පහර දෙමින් සිටින ජෙම්ස් ටේලර් ලකුණු 55ක් හා ජෝ රූට් ලකුණු 31 රැස්කරගෙන සිටියි. කෙසේ නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව මේ වනවිට ඔවුන් රැස්කරගෙන තිබිය යුතු ලකුණු සංඛ්‍යාව 92කි.
එංගලන්තය 56-2 පන්දුවාර 15
එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 අවසන් වනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 56ක් රැස්කරගෙන සිටියි. නොදැවී කඩුල්ලේ රැදී සිටින ජේම්ස් ටේලර් ලකුණු 27ක් හා ජෝ රූට් ලකුණු 02ක් රැස්කරගෙන සිටියි.
එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඇලෙස්ටියාර් කුක් ලකුණු 20ක් රැස්කරගෙන සිටියදී සචිත්ර සේනානායකගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.
එංගලන්තය 25-1 පන්දුවාර 5
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 240ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායමට මේ වනවිට පන්දුවාර 05ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 25 රැස්කරගෙන සිටියි. පන්දුවට පහරදෙමින් සිටින නායක ඇලෙස්ටියාර් කුක් ලකුණු 12ක් හා ජේම්ස් ටේලර් ලකුණු 09ක් රැස්කරගෙන සිටියි.
එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස මොයින් අලී තරගයේ දෙවැනි පන්දුවාරයේදීම දවාගැනීමට සචිත්ර සේනානායක සමත්විය. පන්දුව කඩුල්ලේ වැදී දැවීයන විට අලී ලකුණු 04ක් රැස්කරගෙන සිටියේය. ශ්‍රී ලංකා පන්දු යැවීම දග පන්දු යවන්නන්ගෙන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළ අතර, ඒ අනුව පළමු පන්දුවාර 05 ඩිල්ෂාන් හා සේනානායක යොමු කළේය.
කෙසේ නමුත් මේ වනවිට පැවැති දැඩි හිරු රෂ්මිය අඩුවී ඇති අතර, ක්‍රීඩාංගණය වටා ඇති කඳු වලල්ලට ඉහළ අහස තරමක් අදුරු වෙමින් තිබේ.
තරගය ආරම්භකිරීමට සියල්ල සූදානම්
පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ එංගලන්ත ඉනිම ආරම්භ කිරීමට සියළු කටයුතු මේ වනවිට සූදානම් කරමින් සිටියි.
මෙම තරගයේ ඊයේ (10දා) පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කදී සියල්ලන් දැවී ලකුණු 239ක් රැස්කිරීමට සමත්විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම අවසන් වනවාත් සමඟ (ප.ව. 6.00) ක්‍රීඩාංගණයට වර්ෂාව ඇඳහැළුණු අතර ප.ව. 9.00 වනතුරුත් එය නතර නොවීය. ඒ හේතුවෙන් අද (11) ප.ව. 2.30 සිට එංගලන්ත ඉනිම ආරම්භ කිරීමට තරග තීරකවරයා තීරණය කළේය.
ක්‍රීඩාංගණය ආවරණය කර තිබූ සියල්ල මේ වනවිට ඉවත්කර ඇති අතර, ක්‍රීඩාංගණයට දැඩි හිරු රශ්මියක් පතිත වෙමින් තිබේ. ශ්‍රී ලංකා මෙන්ම එංගලන්ත ක්‍රීඩකයන් ඇග උණුසුම්කිරීමේ ව්‍යයායාම වල නිතර වෙමින් සිටියි.
කෙසේ වෙතත් අතුරු සිදුරු නැතිව ඊයේ දක්නට ලැබූ දේශීය ප්‍රේක්ෂකයන්ගේ විශාල අඩුවක් පෙනෙන්නට තිබේ. නමුත් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ අඩුවක් නොමැත.