සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේහිදී අද (10දා) අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 257ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය, තරග 2 -0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 491ක ඉලක්කයකට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට ඊයේ දිනයේදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 233ක් පමණි.
හරාරේ ක්‍රීඩා සංගම් ක්‍රීඩාංගණයේ අවසන් වූ මෙම තරගයේ දෙවැනි ඉනිමේද සාර්ථක පන්දු යැවීමක නිරත වූ රංගන හේරත්, ලකුණු 63කට කඩුලු 08ක් දවාළීමට සමත් විය.
තරගයේ සිවුවැනි දිනයවූ ඊයේ (09දා) තරගය නතර කරන විට කඩුලු 07ක් දැවී ලකුණු 180ක් ලබා සිම්බාබ්වේ ඉතා අසීරු තත්ත්වයක පසුවූ අතර, ජයග්‍රහණයට අවැසිව තිබූ ඉතිරි කඩුලු 03 පහසුවෙන් දවාගැනීමට හේරත්ට අද උදෑසන හැකිවිය.
පසුගිය ඉරිදා (06දා) ආරම්භ වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 504/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 272/10ක් පමණි.
යළි දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 258ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පෙරේදා (09දා) කටයුතු කළ අතර, ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 491ක ඉලක්කයක් හිමිවිය.
තරගයේ වීරයා ලෙස රංගන හේරත් සම්මානා දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස පිත්තෙන් දස්කම් දැක්වූ දිමුත් කරුණාරත්න සම්මාන දිනාගත්තේය.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 504/10 (පන්දුවාර 144.4)
ධනංජය ද සිල්වා 127 (245, 4x14), අසේල ගුණරත්න 116 (193, 4x15, 6x1), උපුල් තරංග 79 (155, 4x8), ඩොනල්ට් ට්රිපනෝ 3/91 (32), ග්රැහැම් ක්‍රීමර් 3/136 (40)
සිම්බාබ්වේ පළමු ඉනිම 272/10 (පන්දුවාර 82.1)
බ්‍රයන් චාරි 80 (158, 4x9, 6x2), ක්‍රෙග් අර්වින් 64 (112, 4x8), සීන් විලියම්ස් 58 (93, 4x8), රංගන හේරත් 5/89 (26), ඩිල්රුවන් පෙරේරා 3/51 (18)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 258/9 (පන්දුවාර 81.4)
දිමුත් කරුණාරත්න 88 (208, 4x8), කුසල් ජනිත් 62 (69, 4x8, 6x1), ග්රැහැම් ක්‍රීමර් 4/91 (21.4), කාල් මුම්බා 3/67 (19)
සිම්බාබ්වේ දෙවැනි ඉනිම 233/10 (පන්දුවාර 58)
ක්‍රෙග් අර්වින් 72 (121, 4x9, 6x1), සීන් විලියම්ස් 45 (47, 4x5, 6x1) රංගන හේරත් 8/63 (23)
තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක වන බ්ලූ මවුන්ටන් ඇකිලියොන්හි අලෙවි අධ්‍යක්ෂක සාරංග විජේරත්න මහතාගෙන් දිමුත් කරුණාරත්න තරගාවලියේ වීරයාට හිමි සම්මානය ලබාගනිමින්