සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ඩර්හැම් චෙස්ටර්-ලී-ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේදී අද (27දා) ඇරඹේ. දෙරට අතර අවසන්වූ පළමු තරගයෙන් ඉනිමක හා ලකුණු 88ක ජයක් හිමිකරගත් එංගලන්ත කණ්ඩායම මේ වනවිට තරගාවලියේ පෙරමුණගෙන සිටිති. ඒ අනුව අද ආරම්භ වන තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයකි.
පළමු තරගය පරාජයට පත්වුවද, කණ්ඩායමක් ලෙසින් නැවත නැගී සිටීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම සතු බව අප තව තවත් විශ්වාස කරන්නෙමු. අප දිගින් දිගටම සඳහන් කළ පරිදි අවශ්‍යව ඇත්තේ කණ්ඩායමක් ලෙසින් එක්ව සාර්ථක වීමය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ අවස්ථාවේ ඉදිරිපත් කරමින් සිටින දක්ෂතා අඩු මට්ටමක පැවතියද, එංගලන්ත කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමේ හැකියාව අපේ යොවුන් ක්‍රීඩකයන් සතුව ඇති බව අපගේ විශ්වාසයයි.
තවද අද ආරම්භවන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීම කණ්ඩායමට වඩාත් හිතකරය. මේ අවස්ථාවේදී එවැන්නක් සිදුනොවුන හොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවන පීඩනය තව තවත් ඉහළ යෑම වැළැක්විය නොහැක.
පසුගියදා පරාජයට පත්වූ පළමු තරගය දෙස අවධානය යොමු කරන්නේ නම් ළහිරු තිරිමාන්නගේ ස්ථානය හැර, කණ්ඩායම් සංයුතිය ගැන ගැටලුවක් නොමැත. ළහිරු දක්ෂ පිතිකරුවෙකු බව අප කවුරුත් පිළිගන්නා දෙයකි. එහෙත් දක්ෂතා අතර නොමැති තරුණ ක්‍රීඩකයෙකුට දිගින් දිගටම අවස්ථාව ලබාදීමේදී අප ඉතා පරිස්සම් විය යුතුය. මන්ද ඔහු එම අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගැනීමට අපොහොසත් වුවහොත්, ඔහුගේ ක්‍රිකට් දිවියම අනතුරේ වැටෙන බැවිනි. මේ අවස්ථාවේ ළහිරුට උදාව ඇත්තේද එවැනි තත්ත්වයකි. එබැවින් තරගයට ළහිරු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කළයුතුයැයි අප විශ්වාස කරන්නෙමු.
ඒ සඳහා නිරෝෂන් දික්වැල්ල හෝ මිලින්ද සිරිවර්ධන අතරින් කෙනෙකු වන්නේ නම් වඩාත් හිතකරය. එහෙත් තේරීම් කමිටුව දිගින් දිගටම ළහිරු කෙරෙහි විශ්වාසයක් තබා ඇති බැවින් අද තරගයේදීද ඔහුට අවස්ථාවක් හිමිවීමට වැඩි අවස්ථාවක් පවතියි. මීට අමතරව දසුන් ශානකගෙන් පළමු තරගයේදී බලාපොරොත්තු වූ පිතිකරණයක් දැකගැනීමට නොහැකිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට ප්රවිශ්ට වූයේ තරග සැලැස්මක් නොමැති ලෙසිනි. ජාත්‍යන්තර තරගයන්ට ප්රවිශ්ට වීමේදී තරග සැලැස්මක් තිබීම අනිවාර්යය සාධකයකි. එනම් පිතිකරුවන් ලකුණු ලබාගැනීම සඳහා ආක්‍රමණය කළ යුත්තේ කුමන පන්දු යවන්නන්ද, ඒ සඳහා ඉදිරියට පැමිණිය යුතු පිතිකරුවන් කවුරුන්ද යන්න ආදි ලෙසින් තරග සැලැස්මක් තිබිය යුතුය. එසේ නොමැතිව කඩුල්ලේ පමණක් රැඳී සිටීමට උත්සාහ කිරීමෙන් ප්‍රතිවාදීන් පීඩනයට හසුකර ගත නොහැක. පිතිකරුවන්, පන්දු යවන්නන් ආක්‍රමණය කිරීමට ඉදිරිපත් නොවනතාක් පන්දු යවන්නන් කිසිදු චකිතයකින් තොරව පන්දු යැවීම සාමාන්‍ය සිරිතයි. එහෙයින් ආසියානු තණතිලිවලට සාපේක්ෂව එංගලන්තයේදී වැඩි පන්දු සංඛ්‍යාවක් ආරක්ෂාකාරී වෙමින් පන්දු යවන්නන් ආක්‍රමණය කළයුතුව ඇත. පළමු තරගයේදී එංගලන්තය වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් සහ ජෝනි බෙයාස්ටෝව් සිය යුතුකම කදිමට ඉටුකළහ. එය පළමු තරගයේ තීරණය වෙනස් කළ පිතිකරණ සම්බන්ධතාවද විය.
පළමු තරගයේ එංගලන්ත ජයග්‍රහණයට මාර්ගය විවෘත කළ ලකුණු සම්බන්ධතාව වූ ඇලෙක්ස් හේල්ස් සහ ජෝනි බෙසාස්ටෝව් දවාගැනීම වෙනුවෙන්
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සහ පන්දු යවන්නන් භාවිත කළ උපක්‍රමය එංගලන්තය වැනි රටකදී එතරම් හිතකර තත්ත්වයක් නොවේ. ලකුණු 83ට කඩුලු 5ක් බිඳවැටී පිඩනයට හසුව සිටි එංගලන්ත පිතිකරුවන් තව තවත් පීඩනයට හසු කරගැනීමට දිගින් දිගටම පන්දුව ඉදිරියට (ෆුල්ලෙන්ත්) යොමු කළයුතුව තිබුණද, ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙටි පන්දු යැවීමෙන් එහි වාසිය එංගලන්ත පිතිකරුවෝ හිමි කරගත්හ. එය නායක මැතිව්ස් හා වේග පන්දු යවන්නන්ගෙන් සිදුවූ විශාල අතපසුවීමකි. එවැනි එක් අතපසුවීමක් වුවද ප්‍රතිවාදීන්ට විශාල වාසියකි. දෙවැනි තරගයේදී එවැනි අතපසුවීම් සිදු නොකිරීමට නායක මැතිව්ස් මෙන්ම, වේග පන්දු යවන්නන්ද වග බලාගත යුතුය.
කෙසේ වෙතත් පළමු තරගයේ පරාජයේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් බාර ගත යුතුය. එබැවින් අද ආරම්භ වන තරගයේදී අවම වශයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකුවත් දිගු ඉනිම් ක්‍රීඩා කළ යුතුව ඇත. එහෙයින් ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස් සහ අද තරගයට ක්‍රීඩා කරන්නේ නම් ළහිරු තිරිමාන්න අතරින් දෙදෙනෙකුවත් ලකුණු අතරට පැමිණිම අනිවාර්යය සාධකයකි.
පළමු තරගයේ අසාර්ථක වුවද ඇලෙක්ටෙයාර් කුක්, ජෝ රූට්, සහ නික් කෙම්ප්ටන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට හිතකරය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් සිටින මෙන්ම සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 10000 සේ සීමාව පසුකිරීමට සූදානමින් සිටින එංගලන්ත නායක කුක් අද තරගයේදී එම අවස්ථාව උදාකරගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. ඒ සඳහා ඔහුට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 20කි. ඒ අනුව කුක් අද තරගයේදී ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වුවහොත් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වනු ඇත.
පළමු තරගයට පෙරාතුරුව අප සඳහන් කළ පරිදිම ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට හසු කරගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් ඉදිරියට පැමිණියේය. අද තරගයේදීද ඇන්ඩර්සන් සිය යුතුකම් කොටස මැනවින් ඉටු කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගෙන් ගැලවීමට ප්‍රබල සටනක් දීමට සිදුවනු ඇත. ඔහුට අනගි සහායක් ලබා දුන් ස්ටුවට් බ්‍රෝඩ් සහ ස්ටීවන් ෆින්ද ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයකි. ඔවුන් තිදෙනාම මේ අවස්ථාවේ උපරිම රිද්මයේ සිටීම එංගලන්තයට වඩාත් හිතකර තත්ත්වයකි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (27දා) පස්වරු 3.30 ට ආරම්භ වේ.