දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන එක්දින හා පන්දුවාර විස්සයි20 තරගාවලිය කණ්ඩායම් දෙකටම වැදගත් බවත්, දකුණු අප්‍රිකා කණ්ඩායමට හොඳ තරගයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15දා) කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වන එක්දින හා විස්සයි20 තරගාවලිය පිළිබඳව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කළාය.
"මේ තරගාවලිය ලොකු තරගාවලියක්. මගේ නායකත්වය යටතේ ප්‍රථම වතාවට තමයි ලංකාවේදී එක්දින තරගාවලියකට ක්‍රීඩා කරන්නේ. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා තරගාවලිය ගැන. පසුගිය කාලයෙදි අපි හොඳින් පුහුණුවීම් කළා. දකුණු අප්‍රිකාවට හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
මට දක්ෂ කණ්ඩායමක් ලැබිලා තියෙනවා. ඔවුන් හා එක්ව ලංකාවට තරගාවලි ජයක් ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනවා. කොරියාවේ පැවැති තරගාවලියේදී පිතිකාරිණියන්ගේ දුර්වලතාව කැපීපෙනුන සාධකයක් වුණා. ඒ නිසා අපිට හිතපු තරම් හොඳ තරගයක් දෙන්න බැරිවුණා. නමුත් අපි ඒ අඩුපාඩු හදාගෙන මේ තරගාවලියේදී දක්ෂතා දක්වන්න බලාපොරොත්තු වෙනවා. තේරීම් කමිටුව කණ්ඩායමේ වෙනසක් කරලා තියෙනවා.
හොඳ ක්‍රීඩිකාවන් කණ්ඩායමට ඇතුළත් කරලා තියෙනවා. මීට පෙර අපි දකුණු අප්‍රිකානු කණ්ඩායමත් එක්ක තරග කරලා ජයග්‍රහණ කිහිපයක් ලබාගෙන තිබෙනවා. තරගාවලියේ ජයග්‍රහණ කණ්ඩායම් දෙකටම වැදගත් අපි මානසිකව ඉහළින් ඉන්නවා." යනුවෙන් ඇය පැවසුවාය.
ඡායාරූප ශමීර රාජපක්ෂ