ජපානය හමුවේ ශ්‍රී ලංකාවට තරග වට 3-0ක පරාජයක්
ආසියානු වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉරානයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලියේ මූලික වටයේ තරග පෙරේදා (01දා) ආරම්භ වූ අතර, එහිදී පැවැති තරගවලින් ජයග්‍රහණ අත්කර ගැනීමට ජපානය, කසකස්තානය, මැලේසියාව හා සත්කාරක ඉරාන කණ්ඩායම් සමත්වූහ.
මෙම තරගාවලියේ 'ඩී' කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයට එරෙහිව පෙරේදා (01දා) මුහුණදුන් තරගයෙන් තරග වට 3-0ක පරාජයක් අත්විඳීමට සිදුවිය.
කිසිදු අවස්ථාවක ජපාන ක්‍රීඩකයන්ට අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාවට මෙහිදී නොහැකි වූ අතර, ඔවුන් පළමු වටය 25-14ක්, දෙවැනි වටය 25-17ක් හා තෙවැනි වටය 25-13ක් ලෙස ජපානය හමුවේ තරගයකින් තොරවම පරාජයට පත්විය.
මෙදින තවත් තරග කිහිපයක් පැවැති අතර, එහිදී 'බී' කාණ්ඩයේ තරගයක් ලෙස උස්බෙකිස්තානය හා කසකස්තානය අතර තරගයෙන් තරග වට 3-2ක ජයක් අත්කර ගැනීමට කසකස්තානය සමත්විය. ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ වට පහම ක්‍රියාත්මක වූ අතර, එම වට 25-20, 19-25, 16-25, 25-22 හා 14-16ක් ලෙස නිමාවට පත්විය.
'සී' කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති ඔස්ට්‍රේලියාව හා මැලේසියාව අතර තරගයෙන් තරග වට 3-1ක පහසු ජයක් අත්කර ගැනීමට මැලේසියාව සමත්විය. මෙහි පළමු වටය ලකුණු 25-22 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයගත්තද, සෙසු වට 19-25, 17-25 හා 22-25ක් වශයෙන් ඔවුහු මැලේසියාව හමුවේ පරාජය වූහ.
සත්කාරක ඉරානය හා පාකිස්තානය අතර 'ඒ' කාණ්ඩයේ පැවැති තරගයකින් තරග වට 3-0ක පහසු ජයක් අත්කර ගැනීමට ඉරානය සමත්විය. කෙසේ නමුත් මෙම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර, එහිදී පළමු වටය ලකුණු 25-12ක් වශයෙන් ඉරානය හමුවේ පාකිස්තානය පසුබැස්සද, දෙවැනි හා තෙවැනි වටයන්හිදී පහසුවෙන් සටන අත්හැරීමට පාකිස්තාන කණ්ඩායම කටයුතු නොකළේය. ඉරානයට ප්‍රබල තරගයක් දුන් ඔවුහු අවසානයේ ලකුණු 29-29ක් හා 28-29ක සටනකින් අනතුරුව පරාජයට පත්වූහ.
අර්ධාබිල් (Ardabil) නුවර පැවැත්වෙන මෙම තරගාවලිය කාණ්ඩ 04ක් යටතේ පැවැත්වෙන අතර, එහි 'ඒ' කාණ්ඩයෙන් සත්කාරක ඉරානය හා පාකිස්තානය, 'බී' කාණ්ඩයෙන් චීන තායිපේ, කසකස්තානය හා උස්බෙකිස්තානය,
'සී' කාණ්ඩයෙන් චීනය, ඔස්ට්‍රේලියාව හා මැලේසියාව හා 'ඩී' කාණ්ඩයෙන් ජපානය, තායිලන්තය හා ශ්‍රී ලංකාව තරග වදිති.
එළඹෙන 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවැනි තරගය අද (03දා) තායිලන්තය සමගින් පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

